Friday, 22 September 2023

එක්සත් ජනපදය කොන්දේසි විරහිතව ඉරාන න්‍යෂ්ටික ගිවිසුමට එක්විය යුතුය

චීන - රුසියා විදේශ ඇමතිවරු



චීන හා රුසියා විදේශ අමාත්‍යවරු පවසන්නේ එක්සත් ජනපදය, ඉරානය සහ ප්‍රධාන ලෝක බලවතුන් අතර අත්සන් තැබුණු 2015 බහුපාර්ශ්වික න්‍යෂ්ටික ගිවිසුමකට ‘කොන්දේසි විරහිතව’ හැකි ඉක්මනින් ආපසු පැමිණ ඉරානයට මෙන්ම තෙවන පාර්ශ්වීය ආයතනවලට සහ පුද්ගලයන්ට එරෙහිව පනවා ඇති සම්බාධක ඉවත් කළ යුතු බවයි. රුසියානු සහ චීන විදේශ ඇමතිවරු සඳුදා යුරෝපා සංගමයේ විදේශ ප්‍රතිපත්ති ප්‍රධානී ජෝශප් බොරෙල්ගේ ප්‍රධානත්වයෙන් පැවති ඉරාන න්‍යශ්ටික ගිවිසුම තුළ ඉතිරි වී ඇති පාර්ශවයන්ගේ විදේශ ඇමතිවරුන්ගේ රැස්වීමක් (වීඩියෝ තාක්ෂණය ඔස්සේ) අමතමින් ඒ බව ප්‍රකාශ කළහ.

රැස්වීමේදී චීන විදේශ ඇමති වැන්ග් යී කියා සිටියේ එක්සත් ජනපදය ඉරාන න්‍යශ්ටික ගිවිසුමෙන් ඉවත් වීම සහ ඉරානය පිළිබඳ එහි ඊනියා ‘උපරිම පීඩන’ ප්‍රතිපත්තිය, න්‍යෂ්ටික වැඩපිළිවෙලට අදාළ ටෙහෙරානයේ අභියෝගවලට මූලික හේතු බවයි. එක්සත් ජනපද ජනාධිපති ධුරයට පත්වූ ජෝ බයිඩන් නැවත ගිවිසුම හා එක්වන බවට පොරොන්දු වී ඇති නමුත් වොෂින්ටනය ඒ සමඟම ටෙහෙරානයට වැඩි පීඩනයක් එල්ල කරමින් සිටීම නිසා ඉරාන න්‍යෂ්ටික තත්ත්වය තීරණාත්මක අවස්ථාවකට පැමිණ ඇති බව ඔහු පැවසීය.

ගිවිසුම අනුව අදාළ කොන්දේසිවලට අනුගතවීම සම්පූර්ණයෙන් නැවත ආරම්භ කරන ලෙස චීන විදේශ අමාත්‍යවරයා ඉරානයෙන් ඉල්ලා සිටි අතර එක්සත් ජනපදය ගිවිසුමට නැවත පැමිණීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීම සඳහා ගිවිසුමේ අනෙකුත් පාර්ශ්වකරුවන් හැකි ඉක්මනින් සාකච්ඡා ආරම්භ කළ යුතු යැයි යෝජනා කළේය.

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රරම්ප් 2018 මැයි මාසයේදී ඒකපාර්ශවිකව ඇමරිකා එක්සත් ජනපදය ගිවිසුමෙන් ඉවත් කළ අතර ජාත්‍යන්තර විවේචන නොතකා ඉස්ලාමීය ජනරජයට එරෙහිව ‘මෙතෙක් පැවති දරුණුම’ සම්බාධක මුදා හැරියේය. දැඩිසේ විවේචනයට ලක්වූ, ඉවත්වීමෙන් පසුව, වොෂින්ටනය උත්සාහ කරන්නේ ඉතිරි අය ඔවුන්ගේ බැඳීම්වලට කැපවීම වැළැක්වීමට සහ එමගින් ජාත්‍යන්තර රාජ්‍ය තාන්ත‍්‍රිකත්වයේ ප්‍රතිඵලයක් ලෙස පුළුල් ලෙස සලකනු ලබන ඓතිහාසික ගිවිසුම විනාශ කිරීමට ය.

ඉරානය ගිවිසුමට අනුව වසරක් මුළුල්ලේම අනුකූලව කටයුතු කළ අතර, ඉරාන ආර්ථිකයට ඇමරිකානු තහනමේ බලපෑම මගහරවා ගනිමින් සම - අත්සන්කරුවන් ක්‍රියා කරනු ඇතැයි බලා සිටියේය.
එක්සත් ජනපදය ගිවිසුමෙන් ඒකපාර්ශ්විකව ඉවත්වීමට ප්‍රතිචාර වශයෙන්, ටෙහෙරානය න්‍යෂ්ටික ගිවිසුමේ 26 සහ 36 වන වගන්තිවලට අනුකූලව න්‍යෂ්ටික බැඳීම් පස් වතාවක් ආපසු ගෙන ගිය නමුත් එක්සත් ජනපද සම්බාධකවලින් අන්‍යෝන්‍ය වෙළඳාම ආරක්ෂා කර ගැනීමට ප්‍රායෝගික ක්‍රම යුරෝපය සොයාගත් වහාම එම පියවර ආපසු හැරවිය හැකි බව අවධාරණය කළේය.

චීන විදේශ ඇමතිවරයා සිය දේශනයේදී වැඩිදුරටත් අවධාරණය කළේ ගිවිසුම ආරක්ෂා කිරීම සහ ජාත්‍යන්තර ප්‍රජාව අපේක්ෂා කළ පරිදි තත්ත්වය නිවැරදි දිශාවට ප්‍රවර්ධනය කිරීම සඳහා ඒකාබද්ධ උත්සාහයන් දැරීමේ වැදගත්කම ය.

ගිවිසුමට අදාළ ආරවුල් සාධාරණව හා අපක්ශපාතීව විසඳිය යුතු බව පැවසූ වැන්ග්, ඉරානයේ න්‍යෂ්ටික ක්‍රියාකාරකම් සොයාබැලීමට ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියට ( සහාය දැක්වීමට සහ මේ සම්බන්ධව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේදී මතුවන ගැටළු නිසි ලෙස හැසිරවීමට සංවාද හා සහයෝගීතාව අවශ්‍ය බවද පෙන්වාදුන්නේය.  ගිවිසුමට සියලු ගැටළු විසඳිය නොහැකි බව අවධාරණය කළ ඔහු, කලාපීය ආරක්ෂක ගැටළු සෘජුවම ගිවිසුමට සම්බන්ධ කිරීම, එය ක්‍රියාත්මක කිරීම යථා තත්ත්වයට පත් කිරීමේ ක්‍රියාවලියේදී බාධකයක් වන බවට අනතුරු ඇගවීය.

පූර්ව කොන්දේසි නොමැතිව එක්සත් ජනපදය නැවත ගිවිසුම වෙත ආයුතුය: ලාව්රොව්

මේ අතර, රැස්වීම ඇමතූ රුසියාවේ විදේශ ඇමති සිර්ගේයි ලාව්රෝව්, ගිවිසුම වෙත නැවත පැමිණීම සඳහා එක්සත් ජනපදය කිසිදු පූර්ව කොන්දේසියක් ඉදිරිපත් නොකළ යුතු බව කියා සිටියේය.

”එක්සත් ජනපදය ගිවිසුම වෙත නැවත පැමිණීම කිසිදු පූර්ව කොන්දේසියකින් තොරව විය යුතු යැයි අපි විශ්වාස කරමු. පාර්ශ්වකරුවන් සමඟ එක්ව අපි මෙම කාර්යයේදී අර්ථවත් වැඩකටයුතු සඳහා සූදානම්ව සිටිමු. නිවැරදි කිරීමේ මාවතේ ගමන් කිරීමට ඇමරිකාවට උදව් කිරීමට අපි සූදානම්. ඒ අපේ පොදු අවශ්‍යතාව යයි”, ලාව්රොව් වැඩිදුරටත් පැවසීය.

ඉරානය කළ ප්‍රකාශයන් රුසියාව විසින් සැලකිල්ලට ගෙන ඇති බව ලාව්රොව් සඳහන් කළ අතර, එක්සත් ජනපදය එක්වූ විගසම, ගිවිසුමට අනුව ක්‍රියා කිරීමට ඉරානය සූදානම් බවට ප්‍රකාශ කර ඇති බව පෙන්වා දුන්නේය.
”ගිවිසුමෙහි වත්මන් සාමාජිකයින් පමණක් නොව වොෂිංටන් ද මෙම සංඥාව සැලකිල්ලට ගනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල 2231 යෝජනාව දැඩිව පිළිපැදීමට ඇමරිකාව බැඳී ඇති අතර, එය එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ 25 වන වගන්තිය අනුව සෑම රාජ්‍යකම යුතුකමකි” යනුවෙන් රුසියානු විදේශ ඇමැතිවරයා අවධාරණය කළේය.

ගිවිසුමෙහි ඉතිරි සාමාජික රටවල (රුසියාව, චීනය, යුරෝපා සංගමය, ජර්මනිය,  ප්‍රංශය හා එක්සත් රාජධානිය) රැස්වීම අවසානයේ නිකුත් කළ ඒකාබද්ධ නිවේදනයක දී විදේශ ඇමැතිවරු හය දෙනා ගිවිසුම ආරක්ෂා කිරීම සඳහා වූ ඔවුන්ගේ කැපවීම යළිත් අවධාරණය කළහ.

ට්‍රම්ප් ගිවිසුමෙන් ඒකපාර්ශ්විකව ඉවත්වීම පිළිබඳව අමාත්‍යවරුන් සිය ‘කණගාටුව’ යළිත් අවධාරණය කළ අතර, එම ගිවිසුම අනුමත කළ එක්සත් ජාතීන්ගේ නොම්මර 2231 ආරක්ෂක මණ්ඩල යෝජනාව සම්පූර්ණයෙන්ම බලාත්මක බව අවධාරණය කළෝය..


එක්සත් ජනපදය බහුපාර්ශ්වික ගිවිසුමට නැවත පැමිණීමේ හැකියාව පෙන්වා දෙමින් ඒකාබද්ධව එම තත්ත්වය විසඳාගැනීමට ඇති සූදානම අවධාරණය කළහ. 

 

වම් ඉවුරේ වෙබ් නාදය