Friday, 22 September 2023

ගෝලීය අර්බුද විසඳීම සඳහා චීනය බහුපාර්ශ්වීයත්වය ඉල්ලා සිටී!

වසංගතය මෙන්ම අනෙකුත් ගෝලීය අර්බුදයන් පරාජය කිරීමට ඇති හොඳම ක්‍රමය ගෝලීය සහයෝගිතාව බව ෂී පැවසීය. ලෝකය බහුපාර්ශ්වීයත්වයට නායකත්වය දිය යුතු අතර මානව වර්ගයා සඳහා ‘පොදු අනාගතයක් සහිත ප්‍රජාවක්’ ගොඩනැගිය යුතුය. චීන ජනාධිපතිවරයා කියා සිටියේ කිසිදු තනි රටකට පමණක් ගෝලීය ගැටලූ විසඳිය නොහැකි බවයි. ‘ගෝලීය ක්‍රියාමාර්ග, ගෝලීය ප්‍රතිචාර සහ ගෝලීය සහයෝගීතාව ඒ සඳහා අවශ්‍යයි’ ඔහු පැවසීය.

කෝවිඞ් - 19 වසංගතය මැඩපැවැත්වීම පිළිබඳව ගෝලීය නායකයින්ට ෂී පැවසුවේ ‘අපි සටන ඉදිරියට ගෙන යා යුතුයි. එහෙත් ශීත ඍතුවට වසන්තයේ පැමිණීම නැවැත්විය නොහැකි බවත් අන්ධකාරයට කිසිදා උදාවන ආලෝකය වසා දැමීමට නොහැකි බවත් අපි විශ්වාස කරමු. කොරෝනා වසංගතය පාලනය කිරීම ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරියේ ඇති වඩාත්ම වැදගත් කාර්යය’ යැයි චීන ජනාධිපති ෂී ජින් පිං පැවසීය. එන්නත් සංවර්ධනය, නිෂ්පාදනය සහ බෙදා හැරීම සඳහා සහයෝගීතාව ඉහළ නැංවීම වැදගත් වන අතර එය සමස්ත ලෝකයටම ප්‍රවේශ විය හැකි සහ දැරිය හැකි මිලකට ලබා දීම ද වැදගත් බව ෂී සිය කතාවේදී අවධාරණය කළේය. මේ වන විට චීනය රටවල් 150කට වැඩි ගණනකට සහ ජාත්‍යන්තර සංවිධාන 13කට ආධාර ලබා දී ඇති අතර, වෛද්‍ය කණ්ඩායම් 36ක් අවශ්‍යතා ඇති රටවලට යවා ඇති අතර කෝවිඞ් - 19 එන්නත් සඳහා රටවල් ගණනාවක් සමඟ සමීපව කටයුතු කරන්නේය. චීනය සිය අත්දැකීම් අඛණ්ඩව බෙදාහදා ගැනීමටත්, අවශ්‍ය රටවලට සහාය වීමටත්, සංවර්ධනය වෙමින් පවතින රටවල කෝවිඞ් - 19 එන්නත් දැරිය හැකි මිලකට ලබා ගැනීමට සහාය වන බවත් ෂී පැවසීය.

චීනය සෑම විටම බහුපාර්ශ්වීය ක්‍රියාකාරීත්වය වෙනුවෙන් පෙනී සිටීමට සහ එහි ස්ථිර ආරක්ෂකයෙකු ලෙස ක්‍රියා කිරීමට කැපවී සිටී. එය අන්තර්ජාතික සහයෝගීතාව සඳහා වන නව සේද මාවත් ව්‍යාපෘති සංසදය සහ චීන ජාත්‍යන්තර ආනයන අපනයන ප්‍රදර්ශනය ආරම්භ කර ඇති අතර ලොව විශාලතම නිදහස් වෙළඳ ගිවිසුම වන කලාපීය පුළුල් ආර්ථික හවුල්කාරිත්වයට පසුගිය නොවැම්බර් මාසයේදී අත්සන් තබා තිබේ.

පශ්චාත් වසංගත යුගයේ ආර්ථික ප්‍රකෘතියේ හදිසි කර්තව්‍යයට ලෝකය මුහුණ දී සිටින අතර, ෂී කියා සිටියේ ලෝක ආර්ථිකයේ ශක්තිමත් හා සැමට වාසි සැලසෙන ආකාරයේ වර්ධනයක් ඇතිකරගැනීම සඳහා රටවල් සිය සාර්ව ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධීකරණය වේගවත් කළ යුතු බවයි. ලෝක ආර්ථිකයේ මෙහෙයවීම G - 20 සංවිධානය හරහා සිදුවිය යුතු බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

2020 දී චීනයේ ආර්ථිකය සියයට 2.3කින් වර්ධනය වූ අතර, වසංගතයෙන් පීඩාවට පත්වූ ලෝක ආර්ථිකය තුළ ධනාත්මක වර්ධනයක් පෙන්නුම් කළ එකම ප්‍රධාන ආර්ථිකය බවට එය පත්විය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු ප්‍රමුඛ මූල්‍ය ආයතන අපේක්ෂා කරන්නේ චීනය ගෝලීය සාර්ව ප්‍රකෘතියට නායකත්වය දෙනු ඇති බවයි. චීන පාරිභෝගිකයින්ගේ ක්‍රය ශක්තිය තුළින් 2021 දී රට අඛණ්ඩ ආර්ථික වර්ධනයකට යොමු කරනු ඇතැයි විශ්වාස කෙරේ.
ඉතිහාසයේ, සංස්කෘතියේ හෝ වෙනත් ආකාරවල වෙනස්කම් මුල් කරගනිමින් ගැටුම් ඇතිවීම් වළක්වා ගන්නා ලෙස ෂී ලෝකයෙන් ඉල්ලා සිටියේය. ඒ වෙනුවට, ලෝකය අන්‍යෝන්‍ය ප්‍රතිලාභ මත පදනම් වූ සහයෝගීතාවය සඳහා සංවාද තුළින් ප්‍රශ්න විසඳා ගත යුතුව ඇත.

ලෝකය වසංගතය සමඟ පොරබදමින් සිටින විට, සංවර්ධිත ජාතීන්ගේ සහ සංවර්ධනය වෙමින් පවතින රටවල ආර්ථික ප්‍රකෘතිය විවිධ දිශාවන් අනුගමනය කරනු ඇත. විශේෂයෙන්ම දැඩි ලෙස වසංගතයට ගොදුරු වී ඇති සංවර්ධනය වෙමින් පවතින රටවලට ප්‍රකෘතිමත් වීම සඳහා ඉක්මන් ආධාර අවශ්‍ය වේ. සිය කතාවේදී ෂී ලෝකයෙන් ඉල්ලා සිටියේ සංවර්ධනය වෙමින් පවතින රටවල සංවර්ධනය සඳහා වැඩි සම්පත් හා අවකාශයක් ලබා දීම සඳහා සියලූ දෙනාගේම යහපත උදෙසා අවශ්‍ය බවයි. ‘සංවර්ධනය වෙමින් පවතින රටවල වර්ධනයත් සමඟ ගෝලීය සමෘද්ධිය සහ ස්ථාවරත්වය වඩාත් ශක්තිමත් පදනමක් තැබෙන බැවින්, සංවර්ධිත රටවල්ද එවැනි වර්ධනක ප්‍රතිලාභ ලබනු ඇත.’

ලෝකය ජාත්‍යන්තර නීතියට හා ජාත්‍යන්තර නීතිවලට කැපවී සිටිය යුතු බව චීන ජනාධිපතිවරයා අනතුරු ඇ`ගවීය. ‘බහුපාර්ශවීයත්වය යනු අන්තර්ජාතික කටයුතු සාකච්ඡා තුළින් විසඳා ගැනීම සහ ලෝකයේ අනාගතය සියලූ දෙනා එක්ව තීරණය කිරීමයි’ යනුවෙන් ඔහු පැවසීය.

සංවර්ධනය වෙමින් පවතින රටවල සාධාරණ සංවර්ධන අවශ්‍යතා ජාත්‍යන්තර ප්‍රජාව විසින් ආරක්ෂා කළ යුතුය. සමාන අයිතිවාසිකම්, සමාන අවස්ථා සහ සමාන නීති ශක්තිමත් කිරීම දිගුකාලීන ඉලක්කය බවට පත් කළ යුතු අතර එමගින් සියලූ රටවලට සංවර්ධනයේ අවස්ථාවන් සහ ප්‍රතිලාභ ලැබෙනු ඇත.

පොදු සමෘද්ධිය සඳහා චීනයේ නොවෙනස් සහයෝගීතාව යළිත් තහවුරු කරයි!

වසංගතය නොතකා චීනය සිය දේශීය කාර්යයන් ඉදිරියට ගෙන යාමට සමත් වී තිබේ. චීනය අන්ත දුප්පත්කම තුරන් කරමින් මිලියන 800 කට අධික ජනතාවක් දරිද්‍රතාවයෙන් මුදවා ගත්තේය.
අලූත් අවුරුද්දට දායක වීම සඳහා චීනය වෙනුවෙන්, ෂී පොරොන්දු වූයේ සදාකාලික සාමය, විශ්වීය ආරක්ෂාව සහ පොදු සමෘද්ධිය සියල්ලන්ම භුක්ති විඳින විවෘත, පිරිසිදු හා සුන්දර ලෝකයක් ගොඩනැගීමට චීනය වෙනත් රටවල් සමඟ කටයුතු කරන බවයි. සංවර්ධනය වෙමින් පවතින රටවලට දරිද්‍රතාවය තුරන් කිරීමට, ණය බර ලිහිල් කිරීමට සහ වැඩි වර්ධනයක් අත්කර දීමට චීනය උදව් කරන බවට ඔහු පොරොන්දු වූයේය.

චීනය නව සංවර්ධන අවධියකට අවතීර්ණ වී ඇති අතර, නව සංවර්ධන දර්ශනයක් අනුව නව සංවර්ධන පරමාදර්ශයක් පෝෂණය කරනු ඇත. එහිදී, ප්‍රධාන වශයෙන් දේශීය සංසරණයට බරතැබෙන අතර හා දේශීය හා ජාත්‍යන්තර සංසරණයන් එකිනෙකා ශක්තිමත් කරමින් ක්‍රියා කරනු ඇත්තේ විශාල චීන වෙළඳපොළේ විභවය සහ දැවැන්ත දේශීය ඉල්ලූම පදනම් කර ගනිමිනි. ‘මෙම උත්සාහයන් අනෙකුත් රටවලට වැඩි සහයෝගීතා අවස්ථාවන් ගෙන එනු ඇති අතර ගෝලීය ආර්ථික ප්‍රකෘතියට හා වර්ධනයට තවදුරටත් රුකුලක් වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමුයි,’ ෂී පැවසීය. ⋆

 

වම් ඉවුරේ වෙබ් නාදය