ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් පසුගිය 17 වනදා ඇමරිකානු ABC රූපවාහිනී නාලිකාව සමඟ පැවැත්වූ සාකච්ඡාවේදී රුසියානු ජනාධිපතිවරයා පිළිබඳ විවාදාත්මක අදහසක් පළ කළේය. ඒ 2020 ඇමරිකානු ජනාධිපතිවරණයේදී රුසියාව විසින් සිදු කළේ යැයි කියනු ලබන මැදිහත්වීම් සම්බන්ධව අදහස් දක්වමිනි.
එහිදී බයිඩන් ප්‍රකාශ කළේ මෙසේය.
“මම ඔහු සමඟ දිගු සාකච්ඡාවක යෙදුණෙමි. සාපේක්ෂ වශයෙන් මම ඔහු හොඳින් දනිමි. සාකච්ඡාව ආරම්භයේදීම මම මෙසේ පැවසුවෙමි. මා ඔබ දන්නවා, ඔබ මා දන්නවා. මේ ඇඟිලි ගැසීම් සිදුවූ බව තහවුරු වුවොත්, සූදානමින් සිටින්න”
මෙහිදී සාකච්ඡාව මෙහෙය වූ පුද්ගලයා වැඩි දුරටත් විමසා සිටියේ ඔබ ඔහු හොඳින් දන්නවා නම්, ඔහු ඝාතකයෙක්ද යන්නයි. බයිඩන් පිළිතුරු දෙමින් පවසා සිටියේ, පුටින් ඝාතකයෙකු බවය.
පසුගිය සතියේ ලෝක දේශපාලනය උණුසුම් කළ ප්‍රධාන සිදුවීම් දෙකෙන් එකක් මෙයය.
ඇමරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ලොව බලවත්ම රටක රාජ්‍ය නායකයා ඝාතකයෙක් බවය. මෙම ප්‍රකාශය ඉතා බරපතල පසුවිපාක ඇතිකළ හැකි බවට අමුතුවෙන් පැහැදිලි කිරීම අනවශ්‍යය.
රුසියානු ප්‍රතිචාරය
මෙම ප්‍රකාශය සිදුකළ දිනට පසුදින රුසියාව විසින් ඇමරිකාවේ සිටි සිය තානාපතිවරයා ආපසු රුසියාවට කැඳවනු ලැබුවේය. රුසියාව විසින් මේ ගැන විවිධ ප්‍රකාශ සිදු කරනු ලැබූ අතර ජනාධිපති ව්ලැදිමිර් පුටින් මෙසේ ප්‍රතිචාර දැක්වූයේය.
“ඇමරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කළ පරිදි ඇත්තෙන්ම අපි පෞද්ගලිකව එකිනෙකා දන්නවා. මා ඔහුට කුමක් කියන්නද? මා ඔහුට යහපත් සෞඛ්‍යයක් ප්‍රර්ථනා කරනවා.
“අපි අනෙක් පුද්ගලයන්, අනෙක් රටවල් තක්සේරු කිරීමේදී ඔවුනුත් අප වැනියි කියා සිතෙන වෙලාවල් තියෙනවා. හරියට තමන්වම කන්ණාඩියකින් දකිනවා වගේ. කුඩා කාලයේදී අපි මෙහෙම කියනවා, ‘අනෙකා පිළිබඳ ඔබ කියන්නේ අනෙකාද තමන් වැනි යැයි සිතායි’. මෙය ගැඹුරු මනෝ විද්‍යාත්මක කාරණයක්. අපේ ලක්ෂණ අප අනෙකා තුළින් දැකීම.
“ඇමරිකානු ජනතාව සාමකාමී, අවංක පිරිසක්. නමුත් ඔවුන්ගේ පාලක පන්තිය එහෙම නැහැ. ඔවුන්ගේ ගැඹුරු විඥානය සකස් වී ඇත්තේ යුරෝපීයයන් විසින් ස්වදේශීය ඉන්දියානුවන් සමූල ඝාතනය කොට තැනූ පාලන ක්‍රමයක උරුමකරුවන් ලෙසයි. ඉන්පසු යුගය දුෂ්කර කාල පරිච්ඡේදයක්. වර්තමානයේ ‘කළු ජීවතද වටින්නේය’ යන නමින් ව්‍යාපාර පවා බිහිවී ඇත්තේ තවමත් කළු ඇමරිකානුවන් තුරන් කිරීමේ වැඩසටනක් එහි පවතින නිසයි.
“ඇමරිකා එක්සත් ජනපදය තමයි, ලෝකයේ න්‍යෂ්ඨික බෝම්බ පාවිච්චි කළ එකම රට. ඒ න්‍යෂ්ඨික ශක්තියක් නොතිබුණු රටක් වුණු ජපානයට. ඒ පහරදීමට කිසිම යුද අවශ්‍යතාවයත් තිබුණේ නැහැ. එහෙනං ඇයි ඔවුන් එහෙම බෝම්බ දැම්මේ. ප්‍රතිඵලය සිවිල් ජනතාව සමූල ඝාතනය වීම පමණයි.
“අපිත් ඔවුන් හා සමාන යැයි ඔවුන් සිතුවත්, අපි වෙනස්. අපේ ඉදිරි ගමන වළක්වාලන්න කොතරම් උත්සාහ දැරුවත් අපේ ගමන නවත්වන්න ඔවුන්ට බැහැ. ඉදිරියේදීත් අප සමඟ ගනුදෙනු කිරීමට ඔවුන්ට සිදුවනවා ඇත.”