Saturday, 02 December 2023

ස්වාධීන වරාය සේවක සංගමයේ සභාපති ලාල් බංගමුවගේ

....................................
සාකච්ඡා කළේ - සමන් ජයකොඩි
....................................

මොනවද මේ දවස්වල වෙන්නේ?


ආණ්ඩුව රටේ සම්පත් කුණු කොල්ලයට විකුණමින් ඉන්න අතර රටේ ජනතාවට තමන්ට අවශ්‍ය ආහාර ප්‍රමාණය ලබා ගන්නවත් බැරි තත්ත්වයක් උදා කරමින් තියෙනවා. පෝලිම් ඇවිත් තියෙනවා. මිනිස්සුන්ට සල්ලි නැත්තං අපිට කරන්න දෙයක් නෑ කියලා ආණ්ඩුව කියනවා. නමුත් මේ අය ඒවා කියල නෙවෙයි ආණ්ඩුව ගත්තේ. ආණ්ඩුව ගත්තේ සෞභාග්‍යමත් රටක් හදන්නම් කියලා. ආණ්ඩුව කියනවා කොවිඞ් නිසා මේ තත්ත්වය ඇති වුණා කියලා. නමුත් කොවිඞ් මුළු ලෝකයටම තිබුණු ප්‍රශ්නයක්. අපේ රටේ නිදහසින් පස්සේ පත්වුණු පාලකයෝ තමයි මේ රට මේ තත්ත්වයට ගෙනාවේ.

ජාතික සම්පත් විකිණීමට විරුද්ධව වෘත්තීම සමිති ඒකාබද්ධ පෙරමුණක් සකස් වෙලා තියෙනවා?

ඔව්. තෙල්, වරාය සහ විදුලි වෘත්තීය සමිති එකතු වෙලා එක් වෙලා ඒකාබද්ධ සංවිධානයක් හදල තියෙනවා. ඒකේ ක්‍රියාකාරකම් දැනටමත් සිදුවෙමින් තියෙනවා. විශේෂයෙන් මේ ආයතන තුනේ සේවකයෝ රටේ ජාතික සම්පත් විකිණීම කියන කාරණය ගැන අද අවදියෙන් ඉන්නවා. ජාතික සම්පත් බේරගන්න විදුලි බල මණ්ඩලය වර්ජනයකට යන්න සූදානමින් ඉන්නවා. නමුත් රටේ ජනතාවට ඉන්න අපහසුතාවය සලකල තමයි අපි තවමත් නිහඩව ඉන්නේ. නමුත් ආණ්ඩුව වෘත්තීය සමිතිවලට ඇහුම්කන් නොදී මේ කටයුතු කරමින් ඉන්න ආකාරය නිසා ඉදිරියේදී දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගවලට යන්නට වේවි.

ජාතික සම්පත් විකිණීම කියන්නේ?

ආණ්ඩුව එල්එන්ජී ගෑස් ඒකාධිකාරයක් ඇතිවෙන පරිදි ඒ ගනුදෙනුව කරමින් ඉන්නවා. තෙල් සංස්ථාවේ ටැංකි ටික විකුණන්න හදනවා. රටක බලශක්තිය සැපයීම කියන්නේ රටේ සෑම දේටම බලපාන මූලික දෙයක්. එහි ඒකධිකාරය එක් සමාගමකට නැත්නම් ඇමරිකාවට පැවරීම අනාගතයේ අපිට ප්‍රශ්න රාශියක් ඇති කරන්න පුළුවන් කාරණයක්. බලශක්ති ඒකාධිකාරය එක් රටකට දෙනවා කියන්නේ අපේ ආර්ථිකයේ ස්විච් එක ඔවුන්ට දීමක්.
ඒ වගේම වරායේ අක්කර දහතුනක ඉතාමත් වටිනා ඉඩමක් විකුණා දමන්න සූදානම් වෙනවා. ඒ ඉඩම එක් පැත්තකින් කොළඹ වරාය නගරයට මායිම් වෙනවා. අනික් පසින් චීන සීඅයිසීටී ජැටියට මායිම් වෙනවා. මේ ඉඩමේ සාමාන්‍ය වටිනාකම පර්චර්ස් එකක් කෝටි දෙක හමාරක් විතර. මෙතරම් වටින බිම විතරක් නෙවෙයි බිමත් සමග එහි සිදුවන ප්‍රති අපනයන කටයුතුත් ඒවායින් ලැබෙන ඩොලර් ආදායමත් සමගයි මේ චීන සීඅයිසීටී සමාගමටම මේක විකුණන් හදන්නේ. මේක විකුණනේ ඉඩමේ වටිනාකමටත් වඩා අඩු මුදලකට. මීට පෙර මීට වඩා කුඩා ඉඩම් සමාගම්වලට දීලා මේ ගන්න හදනවට වඩා වැඩි මුදලක් මීට අවුරුදු දහයකට කලිනුත් අරන් තියෙනවා. ඒ නිසා මේ දූෂිත ගනුදෙනු නතර කළ යුතුයි.

අපි වෙන් වෙන් වශයෙන් සිටින තාක් පාලකයන්ට මේ සම්පත් විකිණීම පහසුවක් වෙන බව අපි කල්පනා කළා. විශේෂයෙන් අපිට නැගෙනහිර පර්යන්තය බේරා ගැනීමට හැකියාව ලැබුණේ මේ රටේ සියලූ පාර්ශ්ව එදා එකතු වුණු නිසයි. ඒ නිසා එකතුවීම අවශ්‍ය වුණා. නමුත් මේ ආණ්ඩුව තවමත් ඔවුන්ගේ ක්‍රියාකලාපය වෙනස් කරල නැහැ. ඒ නිසා වැඩකරන පන්තියට තමන්ගේ බලය නැවතත් පෙන්නන්න සිදු වේවි.

පසුගිය කාලයේ නැගෙනහිර ජැටිය බේරා ගැනීමට ඒ වෙනුවෙන් වූ වෘත්තීය අරගලයට හැකියාව ලැබුණා. අද ගුරු වෘත්තීය සමිති ඔවුන්ගේ ඉල්ලීම් දිනා ගනිමින් ඉන්නවා. මේවා සුබවාදී ප්‍රවණතා නේද?

ගුරුවරුන්ගේ ගැටළුවේදී මේ ආණ්ඩුව කටයුතු කළේ කොහොමද? වෘත්තීය සමිති නායකයින්ට ප්‍රහාර එල්ල කරලා, මඩ ගහලා මේ ඉල්ලීම් යටපත් කරන්න උත්සාහ කළා. නමුත් සාර්ථක වුණේ නැහැ. ඒ වගේම නැගෙනහිර පර්යන්තය විකිණීමට උත්සාහ කළ වෙලාවෙත් මිනිස්සු අවදි වුණා. මේවා නිසා ආණ්ඩුවට අඩියක් පස්සට ගන්න වෙලා තියෙනවා. විශ්‍රාමිකයන්ගේ පඩියෙන් මුදලක් අය කරන්න උත්සාහ කළා. ඒක දැන් අකුළ ගත්තා. විරෝධතා නිසා මේවා අකුළ ගන්නමා. නමුත් ඒකෙන් මේ ආණ්ඩුව හරි මඟට ගියා කියන එක අදහස් වෙන්නේ නැහැ. වැඩකරන පන්තිය නැගිටින විට මේවා අකුළ ගන්න වෙනවා. අකුළ ගන්න සිද්ධ වෙන දේ නොකර සිටීමටි ආණ්ඩුව කළ යුත්තේ. ගුරුවරුන්ගේ වැටුප් ප්‍රශ්නය විසඳන බව කියමින් බලයට පැමිණි ආණ්ඩුවක් වෘත්තීය සමිති කියනකං ඒ පොරොන්දු ඉෂ්ඨ නොකර ඉන්න අවශ්‍ය නැහැ.

අරගලයෙන් තොර ජයග්‍රහණයක් නොමැති බව වෘත්තීය සමිති දන්නවා. වෘත්තීය සමිති තමන්ගේ ශක්තිය සහ යුතුකම තේරුම් ගනිමින් ජාතික සම්පත් විකිණීමට විරුද්ධව නැගී සිටිය යුතු කාලය පැමිණ තියෙනවා.

 

 

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ


 

ජිනීවා මානව හිමිකම් කොමිසමේ ඡන්ද විමසීමෙන් ලංකාව පරාදයි. මොකක්ද වුණේ?

ජිනීවාවලදී පැවතිච්ච ඡන්ද විමසීමේදී අපට පක්ෂව ලැබුණේ ඡන්ද එකොළහයි. රටවල් 22ක් විරුද්ධ වෙලා තියෙනවා. මෙහිදී ඡන්දය ප්‍රකාශ නොකර සිටි රටවල් සහ අපට විරුද්ධ වුණු සමහර රටවල් දිහා බලන විට මේ ඡන්දය වෙනුවෙන් අපේ පැත්තට රටවල් නම්මවා ගන්න රජය කෙතරම් වෙහස වුණාද කියන ප්‍රශ්නය අපිට පැන නගිනවා. උදාහරණයක් විදිහට ලතින් ඇමරිකානු කලාපයේ මෙක්සිකෝව අපට විරුද්ධව ඡන්දය දීලා තියෙනවා. ආර්ජන්ටිනාව අපට විරුද්ධව ඡන්දය දීලා තියෙනවා. උරුගුවේ රාජ්‍යය අපිට විරුද්ධව ඡන්දය දීලා තියෙනවා. මේ රටවල් තුනම වාමාංශික දේශපාලන බලවේගවලින් පාලනය කරන රටවල්. මේ රටවල් එක්ක මොන විදිහටද රජය ක්‍රියා කළේ කියල අපි දන්නෙ නැහැ.

ආසියාව පැත්තනේ මේ වෙලාවෙ අර්බුදයක හිටියත් නේපාලය සමඟ රජය කොයි විදිහටද සාකච්ඡා කළේ කියල අපිට පැහැදිලි නැහැ. ඔවුන් ඡන්දය දීමෙන් වැළකී හිටියා. තර්කානුකූලව හිතුවොත් ඉන්දීය බලපෑමක් ඔවුන්ට තියෙන්න ඇති. නමුත් අපටත් ඔවුන් සමඟ කතා කරන්න පුළුවන්. ඉන්දුනීසියාව වගේ රටවලුත් ඡන්දය දීමෙන් වැළකී හිටියා. එක පැත්තකින් රජය මේ  ඡන්දය සම්බන්ධයෙන් කටයුතු කරපු ආකාරය අපිට පැහැදිලි නැහැ.

අනෙක් පැත්තෙන් රජය පසුගිය මාස කිහිපය පුරා ජිනීවාවල මේ සිද්ධ වෙන දේ ගැන සංවේදීව නෙවෙයි රට අභ්‍යන්තරයේ ක්‍රියා කළේ. හොඳම උදාහරණය කොවිඩ් ආසාදනයෙන් මිය ගිය මුස්ලිම් ජාතිකයන්ගේ මළ සිරුරු භූමදානය පිළිබඳ ගැටළුව රජය කටයුතු කළ අවිචාරයත් විදිහ. ඒ පිළිබඳ ජිනීවා යෝජනාවේ මේ ප්‍රශ්නයත් තියෙනවා. ඒක ඉවත් කරගෙන නැහැ. ජාත්‍යන්තර වශයෙන් එහි තියෙන බලපෑම අපිට තේරුම් ගන්න පුළුවන්නේ.

ඒ වගේම අනෙක් කාරණය තමයි පළාත් සභා මැතිවරණය. මෙවන් ප්‍රශ්නයක් එන බව දැන දැන අපි පළාත් සභා පිළිබඳ කටයුතු කළේ ප්‍රශස්ත විදිහට නෙවෙයි. අවසානයේ අපි පොරොන්දුවෙනවා මැතිවරණ තියන්න රටටටත් ලෝකයටත්. නමුත් හානිය වෙලා ඉවරයි. අපේ සමහර මිත්‍ර රටවලට එත්තු ගන්නන්න බැරි වුණා අපි මෙහෙම තීරණයක් අරන් තියෙනවා, අපිත් එක්ක ඡන්දෙ දෙන්න කියලා. මුස්ලිම් කාන්තාවන්ගේ කාන්තාවන්ගලේ ඇඳුම් පිළිබඳවත් අවිචාරත්වවයි හැසිරුණේ. එක් ඇමැතිවරයෙක් තමන්ට හිතෙන දේ කියනවා. ඇමැති මණ්ඩලය කියනවා නෑ එහෙම එකක් නෑ කියලා. ජනාධිපතිවරයා මේවා පාලනය කරන්න අවශ්‍යයිනේ. අපාලිත තත්ත්වයකුයි තිබුණේ. මේවා ජාත්‍යන්තර වශයෙන් අපට නරක විදිහට බලපෑවේ.

අපිට චෝදනා කරන රටවල් ගැන අදහස මොකක්ද?

අපිට චෝදනා කරන ඇමරිකාව, බ්‍රිතාන්‍ය, ජර්මනිය වගේ මේ රටවල් දිහා බලපුවාම ඔවුන්ට මොකක්ද තියෙන අයිතිය අපේ රටවල මානව අයිතිවාසිකම් ගැන කතා කරන්න. මේ අයගේ ලෝකය පුරා හැසිරීම බලන්න. ඉරාකය විනාශ කළා. ලක්ෂ 15ක් ජනතාව ඝාතනය කළා. ලිබියාව, යේමනය විනාශ කළා. කිසිම ආරාධනයක් නැතුව සිරියාවට ගිහින් ඇමරිකාව යුද්ධ කරනවා. සිරියාවේ තෙල් බලහත්කාරයෙන් කොල්ල කනවා. අවුරුදු 150ක් එංගලන්තය අපිව යටත් කරන් හිටියා. මේ අය අපේ මානව අයිතිවාසිකම් රැක්කද ඔය අවුරුදුවල. එහෙව් අය තමයි අද මේ විදිහට කටයුතු කරන්නේ. ඒක එක්තරා ආකාරයක සරදමක්.

ඇත්තටම ඔවුන් චෝදනා කරන දෙමළ ජාතිකයන් සම්බන්ධ ගැටළු අපේ රටේ නැද්ද?

මීට කලිනුත් අපි නොයෙක්වර කියල තියෙනවා, දෙමළ ජනතාවගේ නොවිසඳුණු ප්‍රශ්න තියෙන බව අපි තේරුම් ගන්න අවශ්‍යයි. එතන ආර්ථික ගැටළු තියෙනවා. සාමාජීය ගැටළු තියෙනවා. මේ ප්‍රදේශවලට ගියාම අපිට පේන දේ තමයි, යුද්ධය අවසන් වෙලා වසර 12ක් ගිහිල්ලත්, ඒ මුල් යුගයේ  යම් යම් තැන්වල සිදුවුණු යම් යම් දේ හැරුණු කොට කිසිදෙයක් වෙලා නැහැ පහුගිය අවුරුදුවල. ඒ වර්තමාන රජයට චෝදනාවක් විදිහට නෙවෙයි. පසුගිය රජයවල් කිහිපය සහ පළාත් සභා ආදී කිසිවකින් යමක් සිද්ධ වෙලා නැහැ. කාගෙන් සිදු වුණේ නැතත් අවසානයේ රජයයි වගකිව යුතු වෙන්නේ. පළාත් සභාව වැඩ නොකළත් ඒකට වගකියන්න ඕනේ රජය.

ඒ අයගේ යටිතල පහසුකම්වල ප්‍රශ්නයක් තියෙනවා. දකුණේ සහ උතුරේ යටිතල පහසුකම්වල වෙනසක් තියෙනවා. දකුණේ තියෙන යටිතල පහසුකම් අදටත් උතුරට නැහැ. ඒක පාරවල් වෙන්න පුළුවන්, විදුලිය වෙන්න පුළුවන්, පානීය ජලය, ප්‍රවාහන දෙයක් වෙන්න පුළුවන්. මේ සියල්ල ඉතා ප්‍රාථමික මට්ටමින් එහි සිද්ධ වෙන්නේ. ඇත්ත, යාපනේ යන ප්‍රධාන පාර කාපට් කරලා. ප්‍රධාන පාරෙන් අතුරු පාරකට හැරුණු ගමන් වෙනස පේනවා. යාපනය හැරුණු කොට, වව්නියා, කිලිනොච්චි, මුලතිව් වගේ ප්‍රදේශවල තත්ත්වය ඉතාම නරකයි.

ඒ වගේම උතුරේ ජනතාවගේ සාමාජීය තත්ත්වය. මොනවද ඔවුන්ට සපයන ආර්ථික විසඳුම්. මිනිස්සුන්ගේ ජීවිත කඩා වැටිලා තියෙන්නේ. මේ අයගෙන් ප්‍රශ්නයක් මතුවෙමින් තියෙනවා “අපි ලංකාවේ පුරවැසියන් නෙවේද” කියලා. යුද්ධයට අදාළ නොවිසඳුණු ගැටළු රාශියක් තවමත් ඉතුරුයි. විවිධ කොමිෂන් සභා පත්වුණා. පරණගම කොමිෂම, උගත් පාඩම් කොමිෂම, උදලාගම ආදී වශයෙන්. මේ එකකවත් තිබුණු නිර්දේශ ක්‍රියාත්මක වුණේ නැහැ. මේ නිර්දේශ ක්‍රියාත්මක කළා නම්, අවම වශයෙන් ක්‍රියාත්මක කරන්න අවංකව උත්සාහ ගනිමින් සිටියා නම් මේ ජිනීවාවල මේ තත්ත්වයන් ඇති නොවෙන්න තිබුණා.

පළාත් සභා ක්‍රමය වෙනුවෙන් ඔබලා පෙනී ඉන්නවා.

පළාත් සභාව තමයි දෙමළ ජනතාවට ලැබුණු සීමාසහිත විසඳුම. ඔවුන් ඒක සම්පූර්ණ විසඳුමක් වශයෙන් පිළිගන්නේ නැහැ. නමුත් දැන් ලැබුණු විසඳුමවත් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. පළාත් සභාව ඉල්ල ගන්නත් සටන් කරන්න වෙලා. ජාතික ගීය දෙමළෙන් ගායනා කරමින් තිබුණු එකත් නැතුව ගිහින්. තිබුණු තැනින් තවත් පහළට ගිය තත්ත්වයක් උතුරට දැනෙමින් තියෙනවා.

ඒ වගේම ආර්ථික ගැටළුව. අපි දන්නවා උතුරේ ජනතාවට විදෙස්ගත ඥාතීන් විසින් එවූ මුදල් අඩුවෙමින් පවතින බව සමහර නිරීක්ෂකයින් ප්‍රකාශ කරනවා. ඒකට කාරණා කිහිපයක් බලපානවා. එකක් ඒ රටවල තියෙන ආර්ථික අපහසුතා. අනික් කාරණය තමයි යාපනයේ ඥාතීන්ට මුදල් එවුවේ අසූ ගණන්වල මේ රටින් විදෙස් රටවල පදිංචියට ගිය පිරිස්. ඒ තරුණ පරම්පරාව තමන්ගේ දෙමව්පියන්ට තමයි ඒ සල්ලි එවුවේ. දැන් ඒ දෙමව්පියන් ජීවතුන් අතර නැතිවේගෙන යනවා. අනික් අතට ඒ විදෙස්ගත වුණු අයගේ  ඊළඟ පරම්පරාව, ඔවුන්ගේ දරුවන් ලංකාව සමඟ තිබුණු බැඳීම්වල තීව්‍රතාවයන් අඩු වෙමින් යනවා. මේ කාරණා මත විදේශවලින් ලැබෙන මුදල් අඩුවෙලා තියෙනවා. අනෙක් අතට රටේ හැම තැනම වගේ කොවිඩ් නිසා ඇතිවෙන විරැකියාවත් යාපනයේ තියෙනවා.

උතුරට වෙනස් ආකාරයකින් සලකනවා කියලද ඔබ කියන්නේ.

රටේ අනික් තැන්වල රාජ්‍ය ආයතන විසින් විවිධ මට්ටමින් සංවර්ධන කටයුතු සිදු වුණත් උතුරේ එහෙම තත්ත්වයක් පෙන්න නැහැ. මේ නිසා කෙනෙකුට හිතෙනව නම් උතුරේ ජනතාවට වෙනස් ආකාරයකින් සලකනවා කියලා, එහෙම ඇතිවෙන්න සාධාරණ හේතු තියෙනවා. අපි රජයට බල කළ යුතුයි සියලු ජනතාවට එක ආකාරයකින් සලකන්න කියලා. උතුරට එක හැන්දකිනුත් දකුණට එක හැන්දකිනුත් කියන බෙදීමකට නොයා යුතුයි.

අපි කියන්නේ මේ ජාතික ප්‍රශ්නය විසඳිය යුතුයි. ජාතික ප්‍රශ්නය කියන්නේ අධිරාජ්‍යවාදය විසින් මේ රටේ ඇතිකරපු ප්‍රශ්නයක්. අධිරාජ්‍යවාදය කියන්නේ ධනවාදයේ ඉහළම අවධිය. මේක ධනවාදී සමාජ සංවර්ධනයේ අතුරු පලයක් විදිහටයි මේ ජනවාර්ගික ප්‍රශ්නයත් පැන නගින්නේ. අපි දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටිනවා. මේ ප්‍රශ්නය අවසාන වශයෙන් විසඳ ගන්න වෙන්නේ සමාජවාදී ක්‍රමයක් තුළින්. එතෙක් මිනිස්සුන්ට බලන් ඉන්න බැහැ. ඒ නිසා ඉදිරිපත්වෙන, දෙමළ ජනතාව කැමති වෙන ඕනෑම විසඳුමකට අපි කැමතියි. ඒ අනුවයි අපි පළාත් සභා ක්‍රමයට සහාය දෙන්නේ. පළාත් සභාව හොඳම විසඳුම කියන මතයේ ඉදලා නෙවෙයි. දෙමළ ජනතාවට ඔවුන්ගේ අයිතිවාසිකම් ලබාදිය යුතුයි කියන මතය සිංහල ජනතාව අතරට අපි ගෙනියනවා. අපි දෙමළ ජනතාව අතරට ගිහින් කියන්නේ තමන්ගේ අයිතිවාසිකම් ලබාගත යුත්තේ එක රටක් ඇතුළේ කියලයි. මෙවන් ද්විත්ව ප්‍රවේශයකින් දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටිනවා. නමුත් අපි විශ්වාස කරනවා සමාජවාදී ක්‍රමයකින් තමයි නියම විසඳුම් ලබාගත හැකිවෙන්නේ කියලා. ඒ නිසා අපි දෙමළ ජනතාවට ආරාධනා කරනවා අපිත් සමඟ මේ සමාජවාදය වෙනුවෙන් කරන පොදු අරගලය සමඟ එකතු වෙන්න කියලා.

 

සංවාදය - සමන් ජයකොඩි 

 

වෛද්‍ය කුමාර වික්‍රමසිංහ - නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, ජාතික රෝහලේ අධ්‍යක්ෂ


ජාතික රෝහල කොවිඩ් වසංගතයට මුහුණ දෙන්නෙ කොහොමද?

ජාතික රෝහල කියල කියන්නේ ලංකාවේ තියෙන ප්‍රධානතම සහ විශාලතම රෝහල. ඇඳන් 3270ක් තියෙන අක්කර 32ක් පුරා පැතිරුණ රෝහලක්. නව දහසක විතර කාර්ය මණ්ඩලයක් මෙහි සේවය කරනවා. ලංකාවේ තියෙන සියලූම විශේෂඥ සේවාවන් සපයන තැනක්. ඒ නිසාම කොවිඩ් වසංගතය ඇතුළත වුණත් සාමාන්‍ය සේවාවන් නිතිපතා පවත්වාගෙන යෑමේ අභියෝගයක් අපිට තිබුණා. කොවිඩ් වසංගතයේ පළමු රැල්ල ලංකාවේ ඇති වුණේ පහුගිය අවුරුද්දේ පෙබරවාරි - මාර්තු මාසවල. ඒ අනුව කොවිඩ් රෝගීන්ගෙන් අනෙක් රෝගීන් සහ කාර්ය මණ්ඩලය ආරක්ෂා කරගැනීමේ ක්‍රමවේද සකස් කරන්න සිද්ධ වුණා.

මුලින්ම අපි කොවිඩ් රෝගීන් යැයි සැකකෙරෙන අය වෙනුවෙන්ම සුවිශේෂී වාට්ටු කිහිපයක් වෙන් කළා. ඔවුන් වෙනුවෙන් සිදුකරන පීසීආර් පරීක්ෂණයකින් පසුව තමයි අපි වෙනත් සාමාන්‍ය වාට්ටු වෙත එම රෝගීන් ඇතුළත් කරගත්තේ. සමහර රෝගීන් එනවා ඉතා හදිසියේ කටයුතු කළ යුතුවෙන. ඔවුන්ට කොවිඞ් වැළඳී තියෙන්නත් පුළුවන්. උදාහරණ විදිහට හදවතේ රෝගී තත්ත්ව සමඟ පැමිණෙන්නන්, හදිසි ශල්‍යකර්ම හෝ හදිසි අනතුරුවලට ලක්වී පැමිණෙන්නන්. ඒ අය සඳහා එම සාමාන්‍ය වාට්ටුවලම වෙන්කළ කොටස්වලට ඇතුළත් කර ගත්තා. ඒ අය වෙනුවෙන් රෝහල පැත්තෙන් සිදුකළ යුතු සියලූ කාරණා අපි සිද්ධ කළා.

පසුගිය වසරේ මුල කොවිඩ් වසංගතය ආරම්භ වුණත් ජාතික රෝහලේ පීසීආර් පරීක්ෂණ කරන්න පටන්ගත්තේ මේ වසරේ ජනවාරි මාසයේ බවට මාධ්‍ය වාර්තා පළ වී තිබුණා. මේ නිසා රෝහලේ කොවිඩ් රෝගීන් හඳුනාගැනීමේ ප්‍රමාදයන් ඇති වුණේ නැද්ද?

පීසීආර් පරීක්ෂණය කියන්නේ කොවිඩ්වලට වගේම තවත් රෝග කිහිපයක් හඳුනාගන්න කරන පරීක්ෂණයක්. මීට කලින් අපි කළේ අපිට පීසීආර් පරීක්ෂණයක් කර ගන්න අවශ්‍ය වුණාම වෛද්‍ය පරීක්ෂණ ආයතනය හරහා කරවා ගැනීමයි. ඒක තමයි සාමාන්‍ය ක්‍රමය. නමුත් රටේ කොවිඩ් රෝගීන් වැඩි වෙද්දි පරීක්ෂණ ප්‍රතිපල එන්න ප්‍රමාද වෙන තත්ත්වයක් ඇති වුණා. ඒ වෙලාවේ අපිට වෙනම පීසීආර් පරීක්ෂණාගාරයක් අවශ්‍ය බව අපි තේරුම් අරන් පරීක්ෂණාගාරයක් සෑදිමේ කටයුතු ආරම්භ කළා. ඒ වෙනුවෙන් ජාතික රෝහලේ අලූත් තැනක් හදන්න වුණා, අවශ්‍ය සියලූ උපකරණ ලබාගත යුතු වුණා. ඒක හදිසියේ කළ හැකි දෙයක් වුණේ නැහැ. එතෙක් අපි වෛද්‍ය පරීක්ෂණ ආයතනයට අමතරව කොළඹ වෛද්‍ය පීඨයෙනුත් අවශ්‍ය පීසීආර් පරීක්ෂණ සිදු කරගත්තා. පීසීආර් ප්‍රතිපල ලැබෙන තුරු කියලා අපි කිසිම වෙලාවක රෝගීයාට අවශ්‍ය ප්‍රතිකාර කිරීම් නැවැත්තුවේ නැහැ.

අපේ අලුත් පීසීආර් පරීක්ෂණාගාරයට අවශ්‍ය සියලූම උපකරණ අපිට දානපතියන්ගෙන් ලැබුණා. දැන් අපිට දිනකට පීසීආර් පරීක්ෂණ දෙසීයකට ආසන්න ගණනක් සිදු කරන්න පුළුවන්. ඒ ප්‍රමාණය අපේ රෝහලේ අවශ්‍යතාවයට බොහෝ විට ප්‍රමාණවත්. ඒ වගේම පසුව හඳුන්වාදුන් රැපිඞ් ඇන්ටිජන් පරීක්ෂණයත් දැන් රෝහලට ඇතුළත් කරන හදිසි ප්‍රතිකාර අවශ්‍ය රෝගීන් හැර අන් සියලූම රෝගීන්ට සිදු කරනවා. සියලූම කාර්ය මණ්ඩලය
රෝගීන් වෙනුවෙන් අවශ්‍ය සියලූ කටයුතු ප්‍රමාදයකින් තොරව සිදු කරනවා. කොවිඞ් යැයි සැක කරන රෝගීන්ට පවා අවශ්‍ය සියලු ප්‍රතිකාර ආරක්ෂිත ක්‍රියාමාර්ග අනුව යමින් ඔවුන් සිදු කළා. ඒ නිසා කාර්ය මණ්ඩලයට කොවිඞ් වැළඳීමක් සිදු වුණෙත් නැහැ.

කාර්ය මණ්ඩලයට එන්නත් ලබා දීමේ වැඩ කටයුතු සිද්ධ වුණේ කොහොමද?

එන්නත ලැබිලා දැන් සුළු කාලයක්. මුලින්ම මේ එන්නත ලබා දුන්නේ සෞඛ්‍ය සේවකයන්ටනේ. ඒ අනුව අපි පළමු දිනයේ සිටම අපේ කාර්ය මණ්ඩලයට එන්නත් ලබාදීම ආරම්භ කළා. ඒ අනුව ජාතික රෝහලේ ස්ථාන හතරකදී එම එන්නත් ලබා දීම සිදු කළා. එන්නත් ලබා දීමෙන් පසු යම් සංකූලතා ඇති වෙන්න පුළුවන්. ඒ වගේම කලින් සංකූලතා ඇති වුණු අයත් ඉන්න පුළුවන්. ඒ නිසා එන්නත් ලබා දීමේදී සැලිකිලිමත්ව කටයුතු කළ යුතු වුණා. ඒ අනුව රෝහලේ කාර්ය මණ්ඩලයෙන් 95%කට වැඩි පිරිසක් මේ වන විට එන්නත් ලබාගෙන තියෙනවා. අපේ රෝහලට අමතරව වසංගත රෝග අංශයට, සෞඛ්‍ය අමාත්‍යංශයේ අංශ කිහිපයකටත් ජාතික රෝහලේදී එන්නත් ලබා දුන්නා. ඒ අනුව මේ වෙන විට මේ රෝහලෙන් එන්නත් මාත‍්‍රා 10,100කට ආසන්න ප‍්‍රමාණයක් ලබා දීලා තියෙනවා.

එන්නත් ලබාදුන් අයට අතුරු ආබාධ ඇතිවීමේ ප්‍රවණතාවයක් තිබුණද?

එන්නත ලබා දීමෙන් පසු උණ ඇති වීම වගේ දේවල් සිද්ධ වුණා. ඒක සාමාන්‍ය දෙයක්. කිහිප දෙනෙකුට වමනය ඇතිවෙලා තිබුණා. ඊට අමතරව වෙනත් කිසිදු අතුරු ආබාධයත් ඇති වුණේ නැහැ.

කොරෝනා නිසා රෝහලේ බාහිර රෝගී අංශ, සායන වගේ අනිත් කාර්යයන්ට සිදුවෙලා තියෙන බලපෑම කොහොමද?

කොවිඞ් තත්ත්වය මත රෝහලට රෝගීන් පැමිණීම අඩු වුණා. සාමාන්‍ය දිනකදී සායනවලට සහ බාහිර රෝගී අංශවලට 6,000ක පමණ පිරිසක් රෝහලට පැමිණෙනවා. මිනිසුන් ඒකරාශී වීමෙන් මේ වසංගතය පැතිරීම වේගවත් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් සමහර රෝගීන් සායනවලට පැමිණෙන්නේ අවශ්‍ය ඖෂධ අරන් යන්න පමණක්මයි. ඒ අනුව ජනතාව ඒකරාශී වීම වැළැක්වීමේ ප්‍රතිපත්තිය මත සායනවලට පැමිණෙන පිරිස් සීමා කිරීමේ ප්‍රතිපත්තියකට යන්න වුණා. ඒ අනුව දුරකතන සමාගම්වල උදව්වෙන් විශේෂ දුරකතන මාර්ග ගණනාවක් ඒ ඒ සායනවලට ලබා දුන්නා. ඉන් පස්සේ මාධ්‍ය හරහා ඒ ඒ සායනවලට පැමිණෙන අයට ඒ අදාළ දුරකතනය හරහා අවශ්‍ය ඖෂධ ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සූදානම් කළා. ඒ වෙනුවෙන් කාර්ය මණ්ඩලය යෙදෙව්වා. එම රෝගීන්ට අවශ්‍ය ඖෂධ තැපැල් මාර්ගිකව ලබා දුන්නා. ඒ අනුව තවමත් අපි දහසක පමණ පිරිසකට තැපැල් මාර්ගිකව බෙහෙත් යවනවා. මේ වන විට නැවතත් ටිකෙන් ටික සායනවලට පිරිස් පැමිණෙනවා.

කෙනෙකුට හිතෙන්න පුළුවන්, අසනීපයක් වුණොත් මොකද කරන්නේ කියලා. ජාතික රෝහලේ කිසිම අංශයක් වහල නැහැ. එන ඕනෙම රෝගියෙක් භාර ගන්නවා. බාහිර රෝගී අංශයෙත් අවශ්‍ය කටයුතු සූදානම් කරල තියෙනවා. ඒ වගේම කොවිඞ් යැයි සැක කෙරෙන, නැත්නම් කොවිඞ් පැතිරෙන ප්‍රදේශවලින් පැමිණෙන රෝගීන් වෙනුවෙන් වාට්ටු සහ ශල්‍යාගාර පවා අපි වෙන් කරල තියෙනවා.

කොවිඩ්වලට අමතරව වෙනත් බෝ නොවන රෝග නිසා සිදුවන මරණවල වැඩි වීමක්, එහෙමත් නැත්නම් නිවසේදී සිදුවන මරණවල වැඩිවීමක් වාර්තා වෙලා තියෙනවද?

සංඛ්‍යා ලේඛනවලට අනුව නම් එහෙම දෙයක් පේන්නේ නැහැ. රෝගියා රෝහලකට ගෙනයාම සඳහා වූ තීරණ ගැනීමේ ප්‍රමාදකම් කවදත් තිබුණා. බෝ නොවන රෝගී සමහර අය ඉන්නවා කොවිඞ් තිබුණත් නැතත් හරියට බෙහෙත් ගන්නේ නැති අය. සමහර අය තවමත් ඉන්නවා එවන් රෝගයක් තමන්ට තියෙන බව නොදන්න, තමන් වෙනුවෙන් වෛද්‍ය පරීක්ෂණයක් කර නොගන්න අය ඉන්නවා. මේ කාලය තුළ බෝ නොවන රෝගී සංකූලතා සහ මරණ වාර්තා වූ බවක් සංඛ්‍යා ලේඛනවලට අනුව පේන්නේ නැහැ.

තව කලක් මේ විදිහට කොවිඩ් සමඟ අපට ඉන්න වේවි නේද?

ඔව්, කොවිඩ් වසංගතය සමඟ අපට ජීවත් වෙන්න සිදු වේවි. ලොක්ඩවුන් තත්ත්ව ඇති කිරීමත් අපේ වගේ රටකට දරාගන්න පුළුවන් දේවල් නෙවෙයි. එන්නත ඉක්මණින් සියලු දෙනාටම ලබා දිය යුතුයි. අපි දන්නවා වෛද්‍ය විද්‍යාත්මකව ජනගහනයෙන් 70% - 80%කට එන්නත ලබා දුන්නාම සාමූහික ප්‍රතිශක්තියක් ඇති වෙලා බෝ වීමේ ප්‍රවණතාවය අඩු වෙනවා. එන්නත ලබා ගත්තාය කියලා කොවිඩ් ආසාදනය වීම නවතින්නේ නැහැ. එන්නත ලබා දීමේ පරමාර්ථය තමයි කොවිඞ් නිසා සිදුවන මරණ සහ සංකූලතා අවම කරගැනීම. ඒ නිසා එන්නත ලබා ගැනීම අනිවාර්යයෙන් කළ යුතුයි.

අවසන් වශයෙන් ජාතික රෝහල කොවිඞ් අභියෝගයට සාර්ථකව මුහණ දෙමින් ඉන්නවා කියල හිතෙනවද?

කොවිඩ් වසංගතය මැද අපේ කාර්ය මණ්ඩලයට අවශ්‍ය කරන රෝගී සත්කාරක කටයුතු ප්‍රමාදයකින් තොරව, නිසි පරිදි පවත්වාගෙන යන්න හැකි වුණා. ඒ අනුව ජාතික රෝහල විදිහට අපේ කාර්ය නොපිරිහෙලා ඉෂ්ඨ කළා කියලා මම හිතනවා. 

# සාකච්ඡාව - සමන් ජයකොඩි 

 

වම් ඉවුරේ වෙබ් නාදය