සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් විශේෂඥ වෛද්‍ය සුනිල් ද. අල්විස්
# සංවාදය - සමන් ජයකොඩි
කොවිඩ් 19 වසංගතය ශීඝ්‍රයෙන් පැතිර යනවා. පාලනයකින් තොර බවකුත් රජය කොරෝනා මර්දනය අතෑරලා බවකුත් පේනවා.
රජය අතහැරලා කියන කතාවට මම එකඟ වෙන්නේ නැහැ. කොවිඩ් දෙවන රැල්ල හමුවේ සෞඛ්‍ය අමාත්‍යංශය පැත්තෙන් විශාල වැඩ කොටසක් කෙරමින් තියෙනවා. පළවෙනි රැල්ලෙ ආසාදිතයො හිටියේ තුන්දහසකට ආසන්න ගාණක්. දෙවන රැල්ලෙ දැන් 60,000ක් විතර ඉන්නවා. මේ දිනවල ආසාදිතයන් හමුවීමේ වැඩි වීමක් තියෙනවා. පසුගිය ජූලි - සැප්තැම්බර් කාලයේ ආසාදිතයන් හමුවීමේ යම් අඩුවක් තිබුණා. අපි උත්සව හතරක් පසුකරමින් ආවා. ඒ දිනවල සිදුවූ ක්‍රියාකාරකම් නිසා ජනවාරි මාසයේ සිට ආසාදිතයන් වැඩි වීමක් වුණා වෙන්නත් පුළුවන්.
කොවිඩ් පොසිටිව් වන ආසාදිතයන් අපි මධ්‍යස්ථානවලට යොමු කරනවා. මුලදි එවන් තැන් තිබුණේ සීමිත ප්‍රමාණයක්. දැන් එවන් මධ්‍යස්ථාන 72ක් ලංකාව පුරා තියෙනවා. ඒ අතර කොරෝනා වෙනුවෙන්ම වෙන්කරපු රෝහල් කිහිපයක් තියෙනවා. අයිඩීඑච්, හෝමාගම වගේ රෝහල්, ඊළඟට අතරමැදි මධ්‍යස්ථාන විදිහට ආයතන රාශියක් පිහිටුවල තියෙනවා. අවට රෝහල්වලින් සෞඛ්‍ය කණ්ඩායම් මේ මධ්‍යස්ථානවලට යොමු කරල තියෙනවා. මේ ස්ථානවල ඊයේ වෙද්දි 7810 දෙනෙක් රඳවා තියාගෙන ඉන්නවා.
පීසීආර් පරීක්ෂණ අඩු කරල නිසා නිවැරදි සංඛ්‍යාලේඛන නොලැබෙන බවට මතයක් තියෙනවා.
පීසීආර් පරීක්ෂණ අඩු කරල නැහැ. දිගින් දිගටම වැඩි කරමින් තියෙනවා. පීසීආර් කරන තැන් කලින් තිබුණේ කිහිපයක්. දැන් පීසීආර් මධ්‍යස්ථාන 32ක් තියෙනවා. පෞද්ගලික අංශයත් ඇතුළුව. දැන් දවසකට 15,000කට අධික ප්‍රමාණයක් පීසීආර් කෙරෙනවා. පීසීආර් විතරක් නෙවෙයි දැන් අවධානම් වැඩි තැන්වල ඇන්ටිජන් පරීක්ෂණත් කෙරෙනවා. දවසකට දහස් ගාණක් ඒ ඇන්ටිජන් පරීක්ෂණත් සිද්ධ වෙනවා.
කොවිඩ් මර්දන වැඩ පිළිවෙලේ වත්මන් තත්ත්වය කොයි වගේද?
කොරෝනා පළමු රැල්ල එන විට ලෝකය පුරාමත් මේ පිළිබඳව නිවැරදි දැනුමක් තිබුණේ නැහැ. දවස ගානේ මේ දැනුමට විවිධ කාරණා එකතු වුණා. අපේ ක්‍රමවේදයන් පවා ඒ අනුව වෙනස් කරන්න වෙනවා. කොවිඩ් ආසාදිතයන් සැලකුවොත් එක එක මට්ටමින් අය ඉන්නවා. සමහර අයට කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් කරන්නේ නැහැ. තවත් සමහරුන්ට යම් රෝග ලක්ෂණ තියෙනවා. කොවිඩ් නිව්මෝනියා තත්ත්වයට පත්වන සුළු පිරිසකුත් ඉන්නවා. අපි මේවා කළමනාකරණය කරන්නේ වෙනස් ක්‍රමවලට. රෝග ලක්ෂණ නොපෙන්වන අය පිළිබඳ අපි අලුත් චක්‍රලේකයක් නිකුත් කළා. ඉස්සර අපි කළේ පීසීආර් ටෙස්ට් එක නෙගටිව් වෙනකන් තියාගෙන හිටපු එක. ඔවුන්ව දවස් 10කට පස්සේ ප්‍රතිකාර මධ්‍යස්ථානවලින් ඩිස්චාර්ජ් කරනවා කියලා. අලුත් දැනුමින් අපි දැනගත් දෙයක් තමයි තව කෙනෙකුට බෝ කරන කාලය දින 10කට පස්සෙ නැති බව. ඒ අනුවයි නිර්ණායක වෙනස් වීම් සිද්ධ වුණේ.
ඒ වගේම කොරෝනා ආසාදිතයන් යම් ප්‍රමාණයකට වෙනත් රෝග තියෙන අවස්ථාවල් තියෙනවා. හෘද රෝග, වකුගඩු ආබාධ තියෙන අය වගේම ගැබිණි මවුවරුන් ඉන්නවා. ඒ අය ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙමිනුයි අපි කටයුතු කරන්නේ. මාධ්‍යයේ පළ නොවුණත් සෞඛ්‍ය අමාත්‍යංශය පැත්තෙන් විශාල මෙහෙයුමක් කෙරමින් තියෙනවා.
ලංකාවේ කොවිඩ් ආසාදිතයන් වශයෙන් හඳුනාගත් පිරිසේ ප්රවණතාවයන් මොනවද?
දැනට තියෙන දත්ත අනුව 60,000කට ආසන්න හඳුනාගත් කොවිඩ් ආසාදිතයන් අතරින් 65%ක් පිරිමි අය. අවුරුදු 10 අඩු අය ඉන්නේ 4%යි. 11 – 20 වයස් කාණ්ඩයේ ආසාදිතයන් ප්‍රමාණය 10.7%යි. 21 – 30 වයස් කාණ්ඩයේ 18.7%ක් සහ 31 – 40 අතර 23.5% ක් වශයෙන් ආසාදිතයන් හමුවෙලා තියෙනවා. මේ වයස් කාණ්ඩ දෙකේ තමයි පැතිරීම වැඩි. 41ත් 50 අතර 19.7%ක ප්‍රමාණයක් හමුවෙලා තියෙනවා. 51 – 60 අතර වයස් කාණ්ඩයේ ආසාදිතයන් ප්‍රමාණය 14.3%ක ප්‍රමාණයක්. 61 – 70 අතර 6.3%ක්. 70 ට වැඩි අය 3%ක් ආදී වශයෙන් වයස් කාණ්ඩ අනුව ආසාදිතයන් වර්ග කරන්න පුළුවන්. මේ අනුව සමාජයේ ක්‍රියාශීලී කණ්ඩායම තුළ තමයි මේ කොරෝනා රෝගය ව්‍යාප්ත වෙමින් තියෙන්නේ කියන කාරණය පේනවා. ඒ වගේම 41ට වැඩි පිරිසට වෙනත් රෝගත් තියෙන නිසා ඒ අයටත් යම් වැඩි බලපෑමක් තියෙන බව පේනවා. මේ පිරිස් තමයි ආර්ථික ක්‍රියාවලියේ මූලිකව ඉන්නේ. අනික් අය එක්ක ගැවසෙන්නේ ඒ අය.
කොවිඩ් මර්දනයට නිර්මාණය කළ එන්නත ලංකාවට ගෙන්වීමේ කටයුතු කොහොමද?
මේ රෝගය සඳහා එන්නතක් සාර්ථකයි කියලා ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළ දවසේ ඉදන් අපි ඊට අවශ්‍ය කටයුතු සූදානම් කළා. ලෝක සෞඛ්‍ය සංවිධානය මැදිහත් වීමෙන් අපේ රටේ ජනතාවගෙන් 20%කට එන්නත ලැබීමට නියමිතයි.
මේ සතියේ අපට ඉන්දියාවෙන් ලැබෙන එන්නත් ප්‍රමාණය ආධාරයක් විදිහටයි ලැබෙන්නේ. ඉන්දියාවෙන් ලැබෙන්නේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කියන එන්නත. ඒ එන්නත් ලක්ෂ 6ක් විතර අපිට ලැබෙයි කියන බලාපොරොත්තුවෙන් අපි ඉන්නේ. ඒ වගේම තවත් තැන් කිහිපයකින් ආධාර වශයෙන් එන්නත් ප්‍රමාණයක් ලැබෙන්න නියමිතයි. ඒ අනුව චීනයෙන් සහ රුසියාවෙන් එන්නත් ප්‍රමාණයක් අපිට ලැබෙයි කියන බලාපොරොත්තුව අපට තියෙනවා.
එන්නත ලබාදීමේ වැඩසටහනක් සකස් කරල තියෙනවද?
එන්නත ලබාදීමට අපි සූදානම්. මූලිකව ඉන්දියාවෙන් ලැබෙන එන්නතට අදාළ ශීතදාම ක්‍රියාවලිය අපට පහසුයි. ඒ එන්නත තබාගත යුත්තේ සෙල්සියස් දෙකත් අටත් අතර මට්ටමක. ඒ වගේම අපේ රටේ ප්‍රතිශක්තීකරණ ක්‍රියාවලියේ සාර්ථකත්වය ලෝකයම පිළිගත් එකක්. අපි 100%කට ආසන්න මට්ටමකටම ප්‍රතිශක්තීකරණ වැඩසටහන් කරනවා. ලෝකයේ අනෙක් රටවල එහෙම තත්ත්වයක් නැහැ. ඒ නිසා අපිට මේ එන්නත බෙදා හැරීම, ජනතාවට ලබා දීම අලුත් අත්දැකීමක් නෙවෙයි. අනෙක් එන්නත්වලට වඩා මෙහි වෙනස්කම් තියෙන්නේ මෙය විශේෂ බෝවෙමින් පවතින රෝගයකට අදාළ එන්නතක් වීම.
අපේ ප්‍රතිශක්තීකරණ වැඩ සටහනේ තියෙන අනෙකුත් එන්නත් ගැන අපි හොඳින් දැනුවත්. එ්වායින් සිදුවිය හැකි අතුරු ආබාධ පිළිබඳවත් අපි දැනුවත්, මොකද අපි දැන් පරම්පරා තුනක් විතර හරහා මේ එන්නත් ඇවිත් තියෙනවා. ඒක අත්දැකීම්වලින් පෝෂණය වුණු ක්‍රියාදාමයක්.
නමුත් මේ කොවිඩ් එන්නත අපට අලුත් දෙයක්. මාසයක් ඇතුළත එන්නත් මාත්‍රා දෙකක් දීමටත් අවශ්‍යයි. අපිට එන්නත් ලක්ෂ 5ක් ආවොත් අපිට මුලින්ම 250,000ක පිරිසකට එන්නත ලබා දිය යුතු වෙනවා. ඒ අනුව අපිට මේ එන්නත් ලබාදීමේ ප්‍රමුඛතා ලේඛන සකස් කළ යුතු වෙනවා. දැනටමත් මේ ලේඛන සකස් කරල තියෙනවා. මේ එන්නත රෝහල්වල සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල ලබාදෙන්න අපි සැලසුම් කරල තියෙනවා. ඒ අනුව ස්ථාන 4000ක විතර ප්‍රමාණයක එන්නත ලබාදීම කරන්න කටයුතු සූදානම් වෙමින් තියෙනවා. මුලින්ම අපි මේ පළමු එන්නත් ප්‍රමාණය සෞඛ්‍ය ක්ෂේත්රයට ලබා දෙනවා. ඒ වගේම කොවිඩ් මර්දනයේ ඉදිරි පෙළ ඉන්න ගිලන් රථ කාර්ය මණ්ඩල වගේම ත්‍රිවිධ හමුදාවට සහ පොලීසියට එන්නත ලබා දෙන්න කටයුතු සූදානම් කරල තියෙනවා. මේ කිසිම එන්නතක් අවුරුදු 16ට අඩු දරුවන්ට ලබාදෙන්නේ නැහැ.
ඉන් පස්සේ ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ලැබෙන එන්නත අපිට පෙබරවාරි මාසයේ විතර ලැබෙන්න නියමිතව තියෙනවා.
ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ලැබෙන්නෙ මොන එන්නතද?
බොහෝ විට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ලැබෙන්නේ ඇමරිකාවේ නිෂ්පාදනය කළ ෆයිසර් එන්නත. එතන තියෙන ශීතදාම ක්‍රියාවලිය ටිකක් සංකීර්ණයි. ඍණ 70 වගේ ප්‍රමාණයක ශීතදාම ක්‍රියාවලිය පවත්වා ගැනීම අපට තියෙන අභියෝගයක්. ඒ සඳහා අවශ්‍ය මූලික සැලසුම් අපි දැන් හදාගෙන යනවා. ඒකත් විශාල මෙහෙයුමක් වෙයි. මොකද ජනගහනයෙන් 20%කට ඒ කියන්නේ ලක්ෂ 40කට එන්නත දෙනව කියන්නේ විශාල මෙහෙයුමක්.
එන්නත ලබාදීමෙන් පස්සෙ මොන වගේ දෙයක්ද බලාපොරොත්තුවෙන්නේ?
මුල්ම බලාපොරොත්තුව කොරෝනා මරණ ඇතිවීම වළක්වා ගැනීම. ඒ වගේම රෝගය හැදුනත් ඇතිවන සංකූලතා මගහරවා ගැනීම. ඒ වගේම අපි දන්න දෙයක් තමයි ඕනෑම එන්නතක නැත්නම් ඖෂධයක අතුරු ආබාධ තිබිය හැකියි. මෙම එන්නතට අදාළව අතුරු ආබාධ අවම කරගැනීමට කටයුතු කිරීම මෙහි ඊළඟ පියවර.
පහුගිය දවස්වල ඇති වුණු තත්ත්ව එක්ක මේ එන්නත ලබාගන්න ජනතාව බයක් දක්වන්න පුළුවන්. එහෙම තත්ත්වයක් ආවොත් ඒ ගැන ගන්න ක්‍රියාමාර්ග පිළිබඳ සැලසුමක් තියෙනවද?
එන්නතක් ප්‍රතික්ෂේප කරන්න කෙනෙකුට අයිතිය තියෙනවා. එවැන්නකට නීති රීති පනවන්න විදිහක් නැහැ. නමුත් අපට සමාජ සුබ සිද්ධිය වෙනුවෙන් මෙහි ඇති වැදගත්කම ජනතාව දැනුවත් කිරීම කරන්න සිදු වෙනවා. මෙයින් ආරක්ෂාවක් ලැබෙන බවට විශ්වාසයක් ඇති කළ යුතු වෙනවා. මෙහිදී අපි අවධාරණය කළ යුතු තවත් කාරණා තියෙනවා. මේ එන්නත ලබාගත් කෙනෙකුට රෝගය වැළඳීමක් නැති වීමත් සංකූලතා ඇති වීම අවම වුණත් එයින් අදහස් කරන්නේ නැහැ ඔහුගෙන් හෝ ඇයගෙන් තවත් කෙනෙකුට රෝගය බෝ නොවී තියෙයි කියලා. වෛරසය තවත් කෙනෙකුට බෝවීම ගැන අපිට ප්‍රශ්න තියෙනවා. මෙතන තියන කාරණය තමයි එන්නත ලබා දීමත් මුළු ජනගහනයටම එන්නත ලබාදීමත් අතර යම් කාල පරාසයක් තියෙන්න පුළුවන්. ඒ කාල පරාසය තුළ අපි දැනට ක්‍රියාත්මක කරන අනෙකුත් ආරක්ෂිත ක්‍රියාදාමයන් කිසිම ආකාරයකින් අත් හරින්න බැහැ. එන්නත ලබා ගත්තා කියලා අපි දැනට ක්‍රියාත්මක නව සාමාන්‍යයෙන් ඈත් වෙන්න පුළුවන් කමක් නැහැ. එන්නත ලබා ගත්තත් මුව ආවරණ පැළදීම අනිවාර්යයි. සමාජ දුරස්ථභාවය අනිවාර්යයි. ඒ සීමාවන් තදින් ක්‍රියාත්මක කරන්න වෙනවා. එන්නත ලබා ගත්තායින් පසුව වැරදි අදහසක් එන්න පුළුවන් දැන් මම ආරක්ෂිතයි සහ මා ළඟ ඉන්න කාටවත් ප්‍රශ්නෙකුත් නෑ කියලා. ඒක වඩා භයානක නරක තත්ත්වයක්.
එන්නත ලබාදීමට අමතරව අපි මෙතෙක් අතපසු කළ දේවල් තියෙනවද?
මට මතකයි මීට කාලෙකට කලින් පෝලියෝ එන්නත ලබාදීමේදී ක්‍රියා කළ ආකාරය. අපි හැම බස් නැවතුමකම පෝලියෝ එන්නත ජනතාවට ලබාදුන්නා. ඒවාට මනා ජන සහභාගිත්වයක් සහ සහයෝගයක් තිබුණා. ඒ දවස්වල ගම්වල ක්‍රියාත්මක වුණු ස්වේච්ඡා සංවිධාන අපිට ඒ සඳහා බොහොම උපකාරී වුණා. මෙවන් වසංගතයකත් එක්ක සටන් කරන වෙලාවේ එවන් ප්‍රජා සහභාගිත්වය තවදුරටත් අවශ්‍ය බව මම දකිනවා. වඩා සමාජශීලීව සහ ඵලදායී ලෙස ගම සහ ප්‍රජාව සංවිධානය කිරීමට එවන් ආයතනවලට වැදගත් මැදිහත්වීමක් කරන්න පුළුවන්. ප්‍රජා නායකත්වය සහ දේශපාලන නායකත්වය මෙවන් වසංගතයක් මැඩලීමට වැදගත්.
ගොඩක් අය හිතනවා ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂා කර දීම සෞඛ්‍ය අමාත්‍යංශයේ වැඩක් කියලා. එය බොහෝ දුරට නිවැරදි නැහැ. සෞඛ්‍ය අමාත්‍යංශයකට පුළුවන් සෞඛ්‍ය සේවයක් ලබා දෙන්න. හැබැයි සෞඛ්‍ය කියන එක පුද්ගලික සහ සාමූහික වගකීමක්.