Saturday, 08 May 2021

චීන - ඇමරිකා සීතල යුද්ධය

ඇලස්කා සමුළුව කොට උඩ

දෙපාර්ශවයෙන්ම තහංචි සම්බාධක

ජෝ බයිඩන්ගේ නිහඬතාවය

 

පසුගිය සති අන්තයේ දින තුනක් වෙන්කොට තිබූ චීනය සහ ඇමරිකා ජෝ බයිඩන් නව රජයේ අනුග්‍රහය යටතේ ආරම්භ වූ ඉහළ පෙළේ සාකච්ඡාව අප්‍රකාශිතව, නිමාවක් නොමැතිව අවසන් විය. මුළු ලොවේම දැඩි අවධානය යොමුව තිබුණද, එය අවසන් වූයේ අලුත් භූ දේශපාලනික තත්ත්වයක් නිර්මාණය කරමිනි. මේ ලියන මොහොත වන තෙක් නිල ඒකාබද්ධ ප්‍රකාශක් නැත. රාජතාන්ත්‍රිකව ආරම්භ වී රාජ්‍යතාන්ත්‍රිකව අවසන් වූ වගයි. මුළු ලොවේම රාජ්‍ය නායකයෝ තුෂ්විම්භූතව ගොළුවත රකිමින් සිටිති.

චීනය පැත්තෙන් සාකච්ඡාවට සහභාගි වූයේ චීන කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩල සාමාජිකයෙකු සහ විදේශ අවත්‍ය වැන් යී ය. (Wan Yi). ඇමරිකාව පැත්තෙන් විදේශ අමාත්‍ය ඇන්තනී බ්ලින්කන් සහ ජනාධිපති උපදේශකයෙක් සහභාගි විය.

2016 – 2020 දක්වා ඇමරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලන සමය තුළ පැවතියේ චීනය සමඟ සීතල යුද තත්ත්වයකි. එය, මතුපිටින් දෙරටේ නායකයින් අතර සුහදතාවයක් පෙන්වමින් සිටියද එය දිය යටින් ගින්දර ගෙන යාම් වැනි කෛරාටික වැඩපිළිවෙලකි. සමාජ මාධ්‍ය හරහා පෙනුණේ වෙළඳ යුද්ධයක ස්වරූපයක් පමණය. ඩොනල්ඩ් ට්‍රම්ප් අයත් වූයේ රිපබ්ලිකන් පක්ෂයටය. නව ජනාධිපති ඩිමොක්‍රටික් පක්ෂයෙනි. ඇමරිකානු ධනපති පන්තියට අයත් මෙම පක්ෂ දෙකේම විදේශ සහ ආරක්ෂක ප්‍රතිපත්තිය බොහෝ දුරට සමානය. දේශපාලන බලය මෙහෙයවනු ලබන්නේ ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ඒකාධිකාරී ජාතික ධනේශ්වර පන්තියයි. යටින් එන ජනතා බලපෑම්වලට වඩා ඔවුන් අවනත වන්නේ, තමන් බලයට පත් කරන මූල්‍ය, අවි, මාධ්‍ය, වාණිජ, තාක්ෂණ ක්ෂේත්‍රවලට අධිපති පාලක පන්තියටයි.

චීන භීතිකාව

2016 සහ 2020 ඇමරිකානු ජනාධිපතිවරණ දෙකම මින් පෙර තිබූ ජනාධිපතිවරණවලය වඩා වෙනස් වූ ස්වරූපයක් ගත්තේය. ඊට හේතුවූ ප්‍රධාන ජාත්‍යන්තර සාධකය වූයේ නැගී එන චීනයයි.

1945 දෙවන ලෝක යුද්ධයෙන් පසු එවකට ප්‍රධාන ජාත්‍යන්තර සාධකය වූයේ සෝවියට් දේශයයි. විදේශ සහ ආරක්ෂක ප්‍රතිපත්ති තීරණය කරනු ලැබූවේ එම ජාත්‍යන්තර සාධකයට අනුවය. ඉන් පෙර පළමුවන ලෝක යුද්ධයෙන් පසු ජාත්‍යන්තර සාධකය වූයේ හිරු නොබසින අධිරාජ්‍යය වූ මහා බ්‍රිතාන්‍යයයි. ඉන් බාහිරව පැවති සාධක වූයේ ප්‍රංශය, ජර්මනිය සහ සෝවියට් දේශයයි.

1991 දී සෝවියට් දේශය බිඳ වැටීමෙන් අනතුරුව, ඇමරිකාව තනි සුපිරි බලවතා වූ හෙයින් ඇමරිකානු රජයට බලපෑ හැකි තවත් රාජ්‍යයක් තිබුණේ නැත.

එම තත්ත්වය 21වන සියවසේ සිට ක්‍රමානුකූලව වෙනස් වෙමින් පැමිණ, 2015 වන විට චීනය ලෝක ආර්ථිකයේ දෙවන බලවතා බවට පත්විය. ජාත්‍යන්තර අභියෝගයන් එල්ලවීම ආරම්භ වූයේ ඉන් පසුවය. 2015 සහ 2020 ජනාධිපතිවරණ දෙකේදී ජයග්‍රාහී අපේක්ෂකයා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු, රුසියාවේ අගමැති පුටින්ට එරෙහිව ජනාධිපතිවරණයට ඇඟිලි ගැසුවායයි චෝදනාවක්ද එල්ල කරනු ලැබුවේය. දෙවතාවේම, එම චෝදනාව එල්ල කළේ ඩිමොක්‍රටික් පක්ෂයයි. ප්‍රතිවාදියාට එරෙහිව දෘෂ්ටිමය අරගලය සෑම විටම එල්ල කර තිබෙන්නේ ඩිමොක්‍රටික් පක්ෂයයි. චීනයට සහ රුසියාවට ඩිමොක්‍රටික් පක්ෂය සංවේදී බව මෙහිදී දැකිය හැකිය. ඇමරිකානු කම්කරු පන්තියේ සහ සමාජයේ රැඩිකල් හා ප්‍රගතිශීලී බලවේග දෘෂ්ටිමය වශයෙන් චීන හා රුසියානු දේශපාලන මතවාදයට ළං වේයැයි ඩිමොක්‍රටික් පක්ෂය තුළ බියක් පවතී. ඇමරිකාවේ ධනපති පන්තියට අයත් ප්‍රධාන පක්ෂ දෙකම ජාත්‍යන්තර වර්ධනයන් පිළිබඳව දෘෂ්ටිමය ක්ෂේත්‍රයෙහි ප්‍රබල බියකින් පෙලෙති.

බයිඩන්ගේ අභ්‍යන්තර ප්‍රතිවිරෝධතා

ඇමරිකානු කම්කරු පන්තිය, සුළු ධනේශ්වරය සහ රැඩිකල් බුද්ධිමතුන් මෙවරත් ඩිමොක්‍රටික් පක්ෂයට ඡන්දය දුන්නද ඔවුන්ගේ බලපෑම පිළිබඳව ජෝ බයිඩන් තුළ බියක්, චකිතයක් ඇති වී තිබෙන්නේ ඔහු කොන්සර්වේටිව් අදහස් දරණ ඩිමොක්‍රටික් අපේක්ෂකයා වීමටත් වඩා යටින් එල්ලවන පන්තිමය බලපෑම නිසාය.

ජෝ බයිඩන් 2021 ජනවාරි 20 වැනිදා ජනාධිපති ධුරයේ දිවුරුම් දුන්නාට පසු මෙපමණ කලක් ජනමාධ්‍ය හමුවට නොපැමිණි එකම ජනාධිපතිවරයාය. ඔහු ජයගත්තද ඇමරිකානු දක්ෂිණාංශිකය සමාජය තුළ ප්‍රබලය. ඔහුගේ ඡන්ද පදනමින් පවා ඔහු වෙත එල්ල වෙන රැඩිකල් බලපෑම්වලට ඔහු තුළ බියක් ඇත. ආසියානු - අප්‍රිකානු - ලතින් ඇමරිකානු සංක්‍රමණික ප්‍රජාව තුළ රැඩිකල් මතධාරී බලවේග ප්‍රබලය. ඉදිරි වසර හතර තුළ, ඔහුට සිදුවී තිබෙන්නේ ‘අතුරේ’ යන ගමනකි.

චීනයට සහ රුසියාවට එරෙහි වනවාට වඩා ඔහු තුළ ඇත්තේ බියකි. පන්තිමය බියකි. කොවිඩ් 19න් පසු ලෝකය වෙනස් වී ඇති බව ඔහුට දැනෙන්නට පටන්ගෙන තිබේ. 2020 වසරේදී මුළු ලොවම ඍණ ආර්ථිකයකට පත්වූ අතර ආර්ථික වර්ධනයක් පෙන්වූයේ චීනය පමණය. චීනය, ඇමරිකාව අභිබවා දේශීය නිෂ්පාදනයෙන් මෙන්ම ක්‍රය ශක්තිය අතින් ඉදිරියට පැමිණ, ආර්ථික ක්ෂේත්‍රයෙහි ලොව බලවතා වූ බව ප්‍රකාශයට පත් කළේ ඇමරිකාවේ වක්‍ර පාලනයට අයත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලයි.

ජෝ බයිඩන් එදා ජනාධිපති වශයෙන් දිවුරුම් දෙන විට ලෝක ආර්ථික බලවතා බවට චීනය පත්වී හමාරය. මෙම තත්ත්වය ඔහුට මානසිකව බලපාන බව නිසැකය. ජෝ බයිඩන් ජාතිය අමතා කළ පළමු කතාවේදී, අද දකින ඇමරිකාවක් ඉතිහාසයේ කෙදිනකවත් නොදුටු බව කීමට ඔහුට සිදුවිය. කෑම පෝළිම්වල සිටි පාසල් ළමයින්ට කෑම පාර්සල් බෙදා දීමට යෑමට තරම් ඔහුගේ සිත උණු විය.

බයිඩන්ගේ නව ප්‍රවේශය

නව ජනාධිපති සූදානම් වන්නේ කුමකටද? ඔහු නව උපාය මාර්ගයකට පිවිසීමට උත්සාහ දරන්නේ ඇයි?

පළමුව, ඩොනල්ඩ් ට්‍රම්ප් යටතේ විසිරී ගිය තම දේශපාලන සගයන් වූ යුරෝපා සංගමය, ජපානය, දකුණු කොරියාව තම පැත්තට හරවා ගැනීම

දෙවනුව, චීනයේ සේද මාවත ව්‍යාපෘතිය (එක් තීරුවක් - එක් මාවතක්) අඩපණ කිරීම

තුන්වෙනුව, ඇමරිකානු ජනාධිපතිවරණ සමයේදී, යුරෝපා සංගමය, ජපානය, දකුණු කොරියාව, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය සමඟ ඇතිකරගත් ගිවිසුම් ආපසු හැරවීම

සතරවෙනුව, ගෝලීය අභියෝගයන්වලදී (ගෝලීය උෂ්ණත්වය වැනි) සහයෝගීත්වයකටත්, සෙසු ප්‍රශ්නවලදී තරගකාරීත්වයටත්, තෝරාගත් ප්‍රශ්නවලදී ගැටුම්කාරී තත්ත්වයකටත් ප්‍රවේශ වීම

නව උපාය මාර්ගය වශයෙන් සැලකීම.

චීනය ලෝක ආර්ථික බලවතා බවට පත්වීම වළක්වාලීමට ජෝ බයිඩන් තීරණය කර ඇති බව පෙනේ.

ඇලස්කා සමුළුවට පෙර, චීනයට එරෙහිව විශේෂයෙන්ම හොං කොං, තායිවාන් සහ චීනයේ මුස්ලිම් ජනතාව වාසය කරන සින්කියැන්ග් ප්‍රාන්තයට එරෙහිව දැවැන්ත මාධ්‍ය ප්‍රචාරයක් මෙහෙය වීම සිදු කළේ සමුළුව කඩාකප්පල් කර දැමීමට බව දැන් වඩාත් පැහැදිලිය. මේ ලියන මොහොත වන විට චීනය සහ රුසියාව අතර සුවිශේෂී උපාය මාර්ගික සබඳතාවයකට පිවිසීම සඳහා දෙරට විදේශ අමාත්‍යවරුන් හමුවෙමින් සිටිති.

ජිනීවා මානව හිමකම් සමුළුව

ඉහතින් දැක්වූ ඇමරිකාවේ නව හැසිරීම ජිනීවාහි ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවේදී ද දැකගත හැකි විය.

මානව හිමිකම් කවුන්සිලය ‘අශූචි වලක්’ බවට ප්‍රකාශ කොට ඉන් ඉවත් වී සිටි ඇමරිකාව ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවට සහාය දීම සඳහා එහි සාමාජිකයෙකු නොවී සිටියදී යළි එම ‘අශූචි වලටම’ පැන්නේය.

ඇමරිකාව වෙනුවට එම යෝජනාව ඉදිරිපත් කිරීමට බ්‍රිතාන්‍ය තෝරා ගත්තේය. එතැනදීද පැහැදිලිවම එම ප්‍රශ්නය ගෝලීය උතුර සහ ගෝලීය දකුණ අතර ප්‍රශ්නයක ස්වරූපය ගත්තේය.

2021 දී බ්‍රිතාන්‍ය ඉදිරිපත් කළ යෝජනාවට ලබාගත හැකි වූයේ ඡන්ද 22ක් පමණය. 2009 දී ඇමරිකාව විසින් ඉදිරිපත් කළ යෝජනාවට පක්ෂව ඡන්ද 29ක් ලැබී තිබුණි. මුළු ඡන්ද සංඛ්‍යාව 47න් අති බහුතරයක් ලබාගත හැකි වූයේ 2009 දී පමණය.

මෙවර ඡන්දයේ විශේෂ ලක්ෂණය වූයේ ඡන්දය දීමෙන් වැළකී සිටි සංඛ්‍යාව 14ක් දක්වා වැඩි වීමය. 2009 දී මෙම සංඛ්‍යාව 6ක් පමණය.

මින් බැසගත හැකි නිගමන මොනවාද? 

  • ලෝක බලතුලනයේ සිදුවී ඇති වෙනස්කම්ය
  • මෙවර ගෝලීය උතුර සහ ගෝලීව දකුණ වශයෙන් බෙදීමක් පැවතීම
  • ඡන්දය දීමෙන් වැළකී සිටි ශ්‍රී ලංකාවට හිතවත් රාජ්‍යයන් විමර්ශන කටයුතු වේගවත් කර සාධාණයක් ඉටුකළ යුතු බව ප්‍රකාශ කිරීම

‘උගත් පාඩම්’ වාර්තාව ක්‍රියාත්මක කරන ලෙස ‘ඇත්ත’ දිගින් දිගටම ඉල්ලා සිටියද රජය පැත්තෙක් තිබුණේ ඈලි මෑලි ගතියකි. 

ජිනීවා කවුන්සිලය කුමන පිළිවෙතක් අනුගමනය කළද, ශ්‍රී ලංකාව සිය වගකීම් සහ වගවීම් ඉටුකළ යුතු වේ. ඡන්දය දීමෙන් වැළකී සිටි රාජ්‍යයන් ශ්‍රී ලංකාවේ මිතුරන් ලෙස සැලකිය යුතුය.

ශ්‍රී ලංකාවට සහයෝගය ලබාදුන් රටවල් 11න් බහුතරය වාමගාමී, ප්‍රගතිශීලී රාජ්‍යයන් බවද සැලකිය යුතුය. මෙහිදී චීනය, රුසියාව, කියුබාව, වෙනිසියුලාව සහ බොලිවියාව විශේෂ කාර්ය භාරයක් ඉටු කළහ. ඊට අමතරව පකිස්ථානය, බංගලාදේශය, පිලිපීනය, එරිට්‍රියාව, උස්බෙකිස්ථානය සහ සෝමාලියව නොබැඳි ස්ථාවරයේ සිටින රාජ්‍යයන්ය.

මංගල සමරවීර ඇමරිකාව සමඟ එක්වී ගෙන ඒමට උත්සාහ දැරූ යෝජනාවෙන් ඉවත්වීමට වත්මන් රජය විසින් ගනු ලැබූ බුද්ධිමත් තීරණය නොවන්නට ශ්‍රී ලංකාව බටහිර බලවතුන්ගේ ගොදුරක් බවට පත්වීමට ඉඩ තිබුණි. අපේ මැති ඇමැතිවරුන්ගේ වාචාල කටවල් නොවන්නට අපට පක්ෂ ඡන්ද ගණන වැඩිකරගන්නට තිබිණ.

 

වම් ඉවුරේ වෙබ් නාදය