චීන කොමියුනිස්ට් පක්ෂයේ සියවන සංවත්සරය 2021 ජූලි 1 වැනිදා නිල වශයෙන් උත්කර්ෂවත් අන්දමින් බීජිං නුවර දී පැවැත්විණ. මේ ලියන මොහොත වන විට මේ ජූලි 6 වැනිදා ලොව පුරා දේශපාලන පක්ෂ - කොමියුනිස්ට්, කම්කරු, ප්රගතිශීලි, ප්රජාතන්ත්රවාදී පක්ෂ අන්තර්ජාල තාක්ෂණය හරහා ජගත් සමුළුවක් පැවැත්වීමටද කටයුතු සූදානම් කර තිබේ.
චීනයේ වේගවත් ආර්ථික වර්ධනය දරා ගන්නට බැරි, ශ්‍රී ලංකාවේ ධනපති මාධ්‍ය අයිතිකරුවන් වියරු වැටී සිටිනු දැකිය හැකිය. එහි නායකත්වය ගෙන තිබෙන්නේ විජේවර්ධනලාට අයිති ‘ටයිම්ස්’ පත්තර බිස්සට සහ විද්‍යුත් ජනමාධ්‍ය ‘සිරස’ මහරාජාලාටය. ජූලි 4 ඉරිදා ‘සන්ඬේ ටයිම්ස්’ පත්‍රයේ ප්‍රධාන කතෘවරයාම තම කතු වැකියෙන් චීන විරෝධයේ පළමුවන ජනමාධ්‍ය ප්‍රහාරය වියරු ලෙස එල්ල කොට තිබේ. ජනමාධ්‍ය නිදහස කඩතුරාව පිටුපස මෙතෙක් සැගවී සිටි ‘ඉරිදා ටයිම්ස්’ කතුවරයා සිය සැබෑ අධිරාජ්‍ය ගැති, බටහිර ගැති, ප්රතිගාමී, හණමිටි දේශපාලන දෘශ්ඨිය අනාවරණය කර ඇත.
බ්‍රිතාන්‍ය යටත්විජිත පාලන සමයේ ආරම්භ කළ ‘ටයිම්ස්’ සමාගම සුදු අධිරාජ්‍යවාදීන්ගේ ප්‍රධාන හඬ විය. ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ධන කුවේරයෙකු වූ ‘මාතර යටියන මහත්මයාගේ’ පුතු වූ එවකට යු.ඇන්.පී.යේ නුවරඑළිය මන්ත්‍රී ඩොනල්ඞ් රණවීර එය මිළදී ගත්තේ ලේක් හවුසිය ජනසතු කළ විටදීය. ශ්‍රී ලංකාවේ විශාලතම තේ වැවිලිකරු වූ ඔහුගේ තේ වතු ජනසතුවට හසුවූ පසු එම වන්දි මුදල්වලින් ‘ටයිම්ස්’ පත්‍රය සුද්දන්ගෙන් මිළදී ගත් කතාව දන්නේ ටික දෙනෙකි. ලේක් හවුසය අහිමිවූ විජේවර්ධන + ජයවර්ධන පවුල ඩොනල්ඞ් රණවීරගෙන් ටයිම්ස් පත්‍ර බිස්ස මිළදී ගත් කතාවද දන්නේ ටික දෙනෙකි.
අද ‘සන්ඩේ ටයිම්ස්’ ප්‍රධාන කතුවරයා අනුගමනය කරන්නේ එදා සුද්දන් අයිති කරගෙන සිටි කාලයේ යොදා ගත් වියරු භාෂාවෙකි.
1917 ශ්‍රේෂ්ඨ ඔක්තෝම්බර් විප්ලවය ජයග්‍රහණය කරන විට, ඒ පිළිබඳව පළමු ප්‍රකාශය නිකුත් කළේ සර් පොන්නම්බලම් අරුණාචලම්ය. ලංකා ජාතික සංගමයේ සභාපති වූ සර් පොන්නම්බලම් අරුණාචලම් මෙසේ කියා සිටියේය. ”රුසියාවේ කම්කරු පන්තිය බලය අල්ලලා පින්ලන්තය ඇතුළු සාර් රජු අල්ලා ගෙන සිටි රටවලට නිදහස දීලා. අපට දැන් මිතුරෙකු ඉන්නවා. බය වෙන්න දෙයක් නැහැ.” ඔහු මෙම ප්‍රකාශය කළේ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සමුළුවකදීය. ඔහුට එරෙහිව එදා ‘ටයිම්ස්’ පත්‍රයේ කතුවරයා කතු වැකියෙන් සර් පොන්නම්බලම් අරුණාචලම් බොල්ෂෙවික්වාදියෙකු යැයි හංවඩු ගැසීය.
සර් පොන්නම්බලම් අරුණාචලම් ලංකා ජාතික සංගමයේ සභාපති ධූරයෙන් එළවා දැමීමට සේනානායක, විජේවර්ධන, සර් බාරෝන් ජයතිලක සමඟ කුමන්ත්‍රණ කළ කතාවද, දන්නා අය ටයිම්ස් පත්‍රයේ හෝ ලංකාදීප පත්‍රයේ හෝ අද නැත. එහි යටි අරමුණ කොමියුනිස්ට් විරෝධයයි.යටත් විජිත ක්‍රමය ලොවින් පහ කළේ එම ශ්‍රේෂ්ඨ ඔක්තෝම්බර් විප්ලවය නිසා බව වත්මන් ටයිම්ස් කතුවරයා දන්නවාද? නොදන්නවා නම්, ඩඩ්ලි සේනානායක අගමැති කාලයේ ඔක්තෝම්බර් විප්ලවය ගැන පළකළ අදහස් ලේක් හවුස් පත්‍රවලද පළවිය. එම විප්ලවය ශ්‍රේෂ්ඨ වශයෙන් ඉතිහාසඥයින් හඳුන්වන්නේ එහි ඵෙතිහාසික කාර්යභාරය අගය කරලීමට සහ සදා මතකයේ තබා ගැනීමටය. සෝවියට් සංගමය බිඳ වැටුණද, ශ්‍රේෂ්ඨ ඔක්තෝම්බර් විප්ලවය ඉතිහාසයේ සදා රැදී පවති.
පළමුවන ඩී.එස්. සේනානායකගේ ආණ්ඩුවේ පළමුවන කොමියුනිස්ට් විරෝධියා බවට පත්වූයේ ජේ.ආර්. ජයවර්ධනයි. ඔහුට ‘යැංකි ඩිකී’ යන නම යෙදුණේ ජයවර්ධන පවුල විජේවර්ධන පවුලට හේත්තු වූ පසුවය.
අධිරාජ්‍යවාදයේ ගර්භාෂයේ පිළිසිඳගත් ටයිම්ස් පත්‍රය එදා සෝවියට් විරෝධී ප්රචාරයේ නායකත්වය ගත්තා සේම, අද චීන විරෝධී ප්රචාරයේ නායකත්වයද ගෙන තිබේ. එදා කතුවරයා සුද්දෙකි. අද කතුවරයා කල්ලෙකි.
චීන විප්ලවය සිදුවූයේ 1949දීය. දැන් වසර 72ක් ගතවී ඇත. වසර 72කට පසු හදිසියේ චීන විරෝධයක් දියත් කළේ ඇයි? අවිවාදයෙන්ම චීනය ලොවේ දෙවන නොව පළමුවන ආර්ථික බලවතා බවට පත්වෙමින් සිටින නිසාය. ඩොනල්ඞ් ට්‍රම්ප්, බැරැක් ඔබාමා, ජෝ බයිඩන් යන ඇමෙරිකානු ජනාධිපතිවරු වියරු වැටී තිබෙන්නේද, කොමියුනිස්ට් විරෝධය නිසාය. චීන කොමියුනිස්ට් පක්ෂය තව දුරටත් කොමියුනිස්ට් පක්ෂයක් නොවේ යයිද, 1978 සිට ධනවාදය වැළද ගත්තේ යයිද, එම කතුවරයා එම කටින්ම කියා සිටී. කතුවරයා තැති ගැන්වී තිබෙන්නේ ශ්‍රී ලංකාවේ දේශප්ර්මී, ජාතිකවාදී ජනතාව චීනය අගය කරන බැවිනි. ශ්‍රී ලංකාවේ ඇතැම් ධනපතියන්ද, චීන ආර්ථිකයෙන් වාසි ලබා ගන්නා බව කතුවරයා දනී. එනිසා ඔහු යොදා ගත්තේ ‘චීන කොළනියක්’ය යන ට්‍රම්ප්ගේ චවනයයි.
චීන විප්ලවය සිදුවූ බව ප්‍රකාශයට පත්වූයේ 1949 ඔක්තෝම්බර් 1 වැනිදාය. ප්‍රථමයෙන් නව චීනය පිළිගත් රටවල් අතර සෝවියට් සංගමය ඇතුළු සමාජවාදී රාජ්‍යයන් විය. ඉන්දියාව, පාකිස්ථානය සහ ඉන්දුනීසියාව, ශ්‍රී ලංකාව චීනය පිළිගත්තේ ඊට මාස 5කට පසුවය. එදා ඩී.එස්.සේනානායක සහ බ්‍රිතාන්‍ය ආණ්ඩුව අතර වූ ආරක්ෂක ගිවිසුම සහ විදේශ ප්‍රතිපත්තිය චීනය පිළිගැනීමට හරස් විය. සයවන ජෝර්ජ් රජුගෙන් අවසරය ලැබෙන තෙක් මාස 5ක් ප්‍රමාද විය. ඒ අවස්ථාවේ ලංකාව සෙසු රටවල්වලින් කොන් විය.
1952 ඩඩ්ලි සේනානායක ආණ්ඩුවට බලයට පැමිණි විගස ගැඹුරු ආර්ථික අර්බුදයකට මුහුණ පෑමට සිදුවිය. සහල් හිගයකි. රබර්වලට මිලක් නැත. අය-වැය හිගයකි. ගෙවීම් වශයෙන් හිගයකි. ආහාර ඇමැති සර් ඔලිවර් ගුණතිලක සහ මුදල් ඇමැති ජේ.ආර්. ජයවර්ධන ලොව පුරා ගියත්, ප්‍රශ්නයට විසඳුමක් නොවීය. ඩොලර් සහ පවුම් හිගයකි.
චීන කොමියුනිස්ට් පක්ෂය බලයට පැමිණ වසර 2 1/2ක් ගතවූවා පමණය. චීන - ශ්‍රී ලංකා වෙළද ගිවිසුමට යෑමට බල කෙරුණි. ඊට මැදිහත් වූයේ පූජ්‍ය උඩ කැන්දවල සිරි සරණංකර හිමියන්ය. එය ඉතිහාසයේ සැගවී තිබෙන රහසකි. චීනයේ පළමු පැවිදි මිතුරා වූයේ ඒ හිමියන්ය.
චීනය බලවත් වූයේ වෙළදපල නිසා බව ටයිම්ස් කතුවරයා කියන්නේ වෙලදපොල අධිරාජ්‍යවාදය උරුම කරගත් ධනවාදයට පමණක් අයිති දෙයක් බව පෙන්වාදෙමිනි. මාක්ස්වාදයේ මූලධර්ම නොදන්නා නව ලිබරල්වාදය ගැන පමණක් දන්නා ටයිම්ස් කතුවරයාගේ දේශපාලන නූගත්කම නොපෙන්වන ලෙස කියා සිටිමු. ගොනා උම්බෑ නොකීවත් ඌ ගොනා බව අපි දකිමු. ටයිම්ස් කතුවරයාගේ උම්බෑවෙන් ටයිම්ස් කතුවරයා අධිරාජ්‍යවාදී ගැත්තෙකු බව ලොවටම ප්‍රරදර්ශනය කර ඇත.
චීනය අද පත්ව තිබෙන තත්ත්වයට පත් වූයේ කිසිදු රටක ප්රාග්ධනය සොරාගෙන සූරා කෑමෙන් නොවේ. චීනයේ ඉතිරිකිරීම් ප්‍රතිශතය 50%-60% අතරය. ප්රාග්ධනය ඒකරාශී වූයේ ඒ මගිනි. චීන කම්කරු පන්තිය අඩු වැටුප් ලබමින් ලෝක වෙළදපොලින් භාණ්ඩ සපයා ලබාගත් විදේශ විනිමය සංචිතයයි. චීන ජනතාව කැපවීමක් කළ බව සැබෑය. එහෙත් එම ශ්‍රමයේ ඵලය එක්රැස් වූයේ චීන රාජ්‍ය බැංකුවලය.
චීනය ලොවේ අංක එකේ අපනයනකරුය. අංක එකේ ආනයනකරුය. අංක එකේ විදේශ විනිමය සංචිතයයි. අංක එකේ වෙළදපොලයි. අංක එකේ ඉතිරි කිරීම් සංචිතයයි.
ප්‍රාග්ධනයත් චීනය සතුය. වෙළදපොලත් චීනය සතුය. මේ වසරේ සිට තාක්ෂණයත් චීනය සතුය. තාක්ෂණය බටහිරින් ගත් තාක්ෂණය බව සැබෑය. එහෙත් ඒවා මිනිසාගේ නිර්මාණයන්ය. බටහිර බලවතුන්ගේ ප්රාග්ධනය මත සොයාගත් තාක්ෂණය විය හැකිය. එහෙත් ඒවා ශ්‍රමයේ ඵලයි.
චීනය මේ තත්ත්වයට පත්වූයේ ස්ව ශක්තියෙනි. සෝවියට් ආර්ථිකය බිද වැටීමෙන් චීනය අවශ්‍ය පාඩම් ඉගෙන ගත්තේය. සමාජවාදය ගොඩ නගන ආකාරය කිසිදු පොතක නැත. එයත් මිනිසාගේ නිර්මාණයකි. සෝවියට් දේශය චීනය පමණක් නොව ලොව පුරා ශ්‍රමිකයින්ගේ නිර්මාණයන් අද යොදා ගනු ලබන්නේ පොදු ජනතාව වෙනුවෙනි. ඇමෙරිකාවේ මෙන් 1% ධනපතින්ට පමණක් නොවේ. ටයිම්ස් කතුවරයා ධනවාදයේ පියා වන ඇඩම්ස් ස්මිත්ගේ හෝ කාල් මාක්ස්ගේ (කපිටාල්) ප්රාග්ධනය කෘති කියවා නැති බව පෙනේ.
වොෂින්ටනයෙන් පිටකරන ධනේශ්වර ආර්ථික විද්‍යාඥයින්ගේ වට්ටෝරු කියවා කතු වැකි ලියනවා විය හැකිය.
විජේවර්ධන පවුලේ කුලියට කහින ටයිම්ස් කතුවරයා 21 වන සියවසේ තුන්වන දශකයේ උගතුන්ගේ නව ආර්ථික විද්‍යා කෘතීන් කියවිය යුතු බව අපි කියා සිටිමු. මේ මග ඔස්සේ ගොසින් පොඩි රුවන් විජේවර්ධන රටේ නායකයා කරන්න බැරි බව අපි කියා සිටිමු. ඔහුටද සිදුවන්නේ සජිත් ප්‍රේමදාසට සිදුවෙමින් පවතින දෙයයි. අනුන්ගේ නොතේරෙන පොත් කිහිල්ලේ ගහ ගෙන යන දේශපාලඥයින් 21 වන සියවසට ගැලපෙන්නේ නැත. ලෝකය වේගයෙන් වෙනස් වන බව මාධ්‍ය මෙහෙයවන මොවුන් දැන ගත යුතුය.