Monday, 29 April 2024

සාගර - උදය ගැටුමේ දේශපාලනය

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ශ්‍රී ලංකාවේ හත්වන (07) විධායක ජනාධිපතිතුමාය. අති බහුතරය වැඩකරන ජනතාව 2019 නොවැම්බරයේදී ඡුන්දය දුන්නේ ඔබටය. පොහොට්ටුවේ අපේක්ෂකයා වුවද, ජනතාව සිය පරමාධිපත්‍ය බලය පවරනු ලැබුවේ පුද්ගලයා වශයෙන් ඔබට මිස, අන් කිසිවකුට නොවේ. පක්ෂය පොහොට්ටුව බව සැබෑ වුවද, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව විධායක බලය පවරනු ලැබුවේ එක් පුද්ගලයකුටය. ඒ ඔබ මිස පොහොට්ටුව නොවේ. පක්ෂයක් වශයෙන් මහ මැතිවරණයේදී ව්‍යවස්ථා බලය පවරනු ලැබුවේ පොහොට්ටුවටය. ව්‍යවස්ථාදායක බලය සාමූහිකව පැවරුවේ එම පොහොට්ටුවට බව සැබෑය. එම ව්‍යවස්ථාදායක බලය යොදා ගන්නා ආකාරය ගැන පොහොට්ටුව සාමූහිකව ඡුන්දදායකයාට වගකිව යුතුව ඇත. ඒ ගැන විවාදයක් නැත.

දැන් අප කතා කරන්නේ පරමාධිපත්‍ය බලයේ විධායක පැතිකඩ ගැනය. එම නිසා ජනාධිපතිතුමා තම විධායක බලය පාවිච්චි කිරීමේදී පෞද්ගලික වගකීමකින් බැඳී ඇති බව සැබෑය. එහෙත් ඔබේ විධායක බලය පාවිච්චි කිරීමේදී, ව්‍යවස්ථාදායකය ගැන නොතකා ක්‍රියා කළ හැකි වුවද, ප්‍රජාතන්ත‍්‍රවාදී රාමුව තුළ ක්‍රියා කළ යුතුව ඇත. එසේ නම් ඔබ ක්‍රියාකළ යුත්තේ ව්‍යවස්ථාදායකයේ මතය සැලකිල්ලට ගෙනය. එසේ නොකරන්නේ නම්, වැඩි දුර ගමනක් ඔබට යා නොහැකිය. මෙය තුලනය කිරීමට යොදාගනු ලබන්නේ පක්ෂ නායකත්වයයි. එහෙත්, ඔබට පක්ෂයේ නායකත්ව බලය නැති බව ගතවූ වසරක පාලන කාලය තුළ අපි දැක ඇත්තෙමු. එසේ නම්, සිදුවී තිබෙන්නේ ඔබ පොහොට්ටුවේ සාමාජිකත්වයේ හෝ නායකත්වයේ නොසිටින බවක් බව ප්‍රත්‍යක්ෂව ඔප්පු කරනු ලැබ ඇත.

ඔබ සහ මින් පෙර සිටි විධායක ජනාධිපති සය දෙනා අතර වෙනස එයයි. පක්ෂයේ නායකයා නොවන පළමු විධායක ජනාධිපතිවරයා ඔබය. සයවන ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාද, ඔබ මෙන් ඔහුද තේරී පත්වන විට පක්ෂයක නායකයෙකු නොවීය. නාමයෝජනා සඳහා අවශ්‍යතාවය පිරිමසා ගැනීමට පෙරමුණක් ගොඩනඟා ගත් බව සැබෑ වුවද, ඇත්ත වශයෙන්ම එම ඊනියා පෙරමුණ හුදෙක් නාමයෝජනා සඳහා පමණය. රනිල්-මෛත‍්‍රී ගැටුම උපන්ගෙයි
රෝගයකි. මහින්ද රාජපක්ෂ මහතා පරාජයට පත්වූ සැණින්, තම පක්ෂය සහ සන්ධානය දෙකම මෛත‍්‍රිපාල සිරිසේනට පවරනු ලැබීය. එම තීරණය පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ නිත්‍යානුකූල තීරණයක්ද යන්න විවෘත නොවිසදී ඇති ප්‍රශ්නයකි. සන්ධානය ගත් කළ එවැනි තීරණයක් නොගත් බව අපි දනිමු. එහෙත් මෛත‍්‍රීපාල සිරිසේන බහුතර පක්ෂයේ හෝ සන්ධානයේ හෝ බලයක් නොලැබුණු හෙයින්, රනිල්-මෛත‍්‍රී ගැටුම් නොවිසදී දිගටම පැවතුණි. එම රජයේ අකල් මරණයට හේතුවද එයයි.

ජේ.ආර්. ගේ න්‍යායට අනුව විධායක ජනාධිපති යනු, රාජ්‍ය නායකයාය - ආණ්ඩුවේ නායකයාය - ත‍්‍රිවිධ හමුදාවේ නායකයාය - අමාත්‍ය මණ්ඩලයේ නායකයාය - පක්ෂයෙ නායකයාය.
එහෙත්, අප භාවිතයෙන් දකින ආකාරයට ගෝඨාභය රාජපක්ෂ පක්ෂයේ නායකයා නොවේ. ජේ.ආර්. ගේ න්‍යායට අනුව වත්මන් දේශපාලන අර්බුදයට හේතුව ගෝඨාභය පක්ෂයේ නායකයා නොවීමයි. පක්ෂයේ නායකයා නොවීම හේතු කොටගෙන, ඔහු ආණ්ඩුවේ නායකයා විය හැකිද? ප්‍රායෝගිකව  ආණ්ඩුව යනු කැබිනට් මණ්ඩලය නම්, ගෝඨාභය ආණ්ඩුවේද නායකයාය. න්‍යායිකව එසේ වුවද භාවිතයෙන් ඔහු ආණ්ඩුවේ නායකයා වශයෙන් හැඳින්වීම  ප්‍රශ්නාර්ථයකි. මන්ද, ආණ්ඩුව පිහිටවනු ලැබූ පක්ෂයේ නායකයා ඔහු නොවන බැවිනි.

වසර 43කට පසු ජේ.ආර්. ගේ න්‍යායට අනුව අර්බුද හට ගැනීම වළක්වාලිය නොහැකිය. මන්ද, විධායක ජනාධිපතිට පක්ෂයේ සහාය තිබුණද, බලය හිමිවී නැත. එම බලය තිබෙන්නේ පක්ෂයේ ප්‍රධාන ලේකම් අතේය. එනම්, වත්මන් පොහොට්ටුවේ මහ ලේකම් සාගර කාරියවසම්ටය. උදය ගම්මන්පිල සහ සාගර අතර ගැටුමට හේතුව දැන් වඩාත් පැහැදිලි වී ඇත.

විමල් වීරවංශ සහ සාගර කාරියවසම් අතර ඇතිවූ ගැටුමට හේතුවද, පක්ෂයේ බලයක් ජනාධිපතිට නැති හෙයිනි. එම බලය වර්තමානයේ පාවිච්චි කරන්නේ සාගර කාරියවසම්ය.

ජනාධිපති - අගමැති සිටි කැබිනට් අනුකමිටුවේ තීරණයට පටහැනිව සාගර කාරියවසම් ප්‍රකාශ නිකුත් කළේ, ඔහු සතුව ඇති බලය පෙන්වීමටයි. එදා ඉල්ලා අස්වීමේ ලිපි ලබාගන්නේ විධායක ජනාධිපති ජේ.ආර්. ය. අද ඉල්ලා අස්වීමේ ලිපිය උදය ගම්මන්පිලගෙන් ඉල්ලා සිටින්නේ පක්ෂයේ ලේකම් සතුව ඇති බලය යොදා ගනිමිනි.

කඩිමුඩියේ ගොඩනගාගත් පොහොට්ටු පක්ෂය මෙන්ම, පොහොට්ටු සන්ධානය දැන් අර්බුදයකට පාත‍්‍ර වෙමින් තිබෙන්නේ අද ඇතිවී තිබෙන අර්බුදය, එදා පක්ෂ සහ සන්ධාන නායකයෝ නොදුටු හෙයිනි. පොහොට්ටුවේ සලකුණත්, සන්ධානයේ සලකුණත් දෙකම පොහොට්ටුව වූයේ කෙසේද යන්න හාරා අවුස්සා බැලූවහොත්, වත්මන් අර්බුදයේ ප්‍රභවය මෙන්ම පිටුපස බලවේගයද හඳුනාගත හැකිවනු ඇත.

මෙම ගැටළුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ගැටළුවක් නොවේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දේශපාලන පක්ෂයක බලය කුමක්දැයි කොතනකවත් සඳහන් නොවේ. එබැවින් මෙය අධිකරණයෙන් විසඳාගත හැකි ප්‍රශ්නයක් නොවේ. මෙය අමු අමුවේ දේශපාලන ප්‍රශ්නයකි. විධායක බලය හෝ ව්‍යවස්ථාදායක බලය හෝ අධිකරණ බලය පිළිබඳ ප්‍රශ්නයක් නොවේ. මෙය දේශපාලන බලය පිළිබඳ ප්‍රශ්නයකි.

ගෝඨාභය රාජපක්ෂ මෙම අර්බුදයේ එරී සිටින බව අපේ නිගමනයයි.

මෙය, 2020 අගෝස්තු මහ මැතිවරණයෙන් පසුව සිට ලියලමින් තිබෙන ප්‍රශ්නයකි. 2019 නොවැම්බර් (ජනාධිපතිවරණයෙන් පසු) සිට 2020 අගෝස්තු දක්වා වූ කාලය ව්‍යවස්ථාදායක බලය, ජනාධිපති සතුව නොතිබුණු කාල පරිච්ඡ්දයයි. පාර්ලිමේන්තුවේ බලය එක්සත් ජාතික පක්ෂය සතුවූ හෝ පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබූ කාල පරිච්ඡේදයයි. කොවිඞ් වසංගතය අප රට තුළ පැතිරුණේ එම කාලය තුළය. එකී කාලය තුළ ජනාධිපතිගෙ ජනප්‍රියභාවය වැඩි වූ හැටි අපි දුටුවෙමු. මහ මැතිවරණයෙන් 2/3ක් ලැබුණා නම්, ඊට හේතුව ගෝඨාභයගේ මුල් පාලන කාලයේ වැඩවල ප්‍රතිඵලයි. එහෙත්, පාර්ලිමේන්තුවේ බලය, පොහොට්ටුව සතු වූ පසු ජනාධිපතිවරයා විවිධ අර්බුද සහ ගැටළුවලට මුහුණ පාන බව අපි දකිමු.

ඊට පසුබිම් වන හේතුව, ජනාධිපති සතුව පක්ෂයේ බලය නොමැතිවීමද?

කෙසේ වුවද පහත සඳහන් ප්‍රවණතා අපි දකිමු.

ජනාධිපති සහ අමාත්‍යවරු අතර දුරස්ථභාවය
ජනාධිපති හා මන්ත‍්‍රීවරුන් අතර ඇති දුරස්ථභාවය
පක්ෂයේ බලය ජනාධිපති සතුව නොතිබීම.


ඒ අනුව, මෙම ව්‍යූහය තුළින්ම පැන නගින්නා වූ අර්බුදයකි. මීට විසඳුම් අවශ්‍ය නම් පක්ෂයේ නායකත්වයද ජනාධිපති සතු කළ යුතුය.

එය නොකරන්නේ නම්, අර්බුදයට ව්‍යුහාත්මක විසඳුමක් නැත. කළ යුත්තේ පාර්ලිමේන්තු ක‍්‍රමයකට මාරු වීමයි. එසේ නොකළ හොත්, රට අරාජික තත්ත්වයට ඇදී යනු ඇත. පක්ෂයේ මන්ත‍්‍රීවරුන් සහ අමාත්‍යවරුන් පාලනය කිරීමේ බලය දැන් පැවරෙන්නේ සාගර කාරියවසම්ටය. ජාතික ලැයිස්තුවේ මන්ත්‍රීවරයෙකුටය.

කොවිඩ් දෙවෙනි රැල්ල මෙන්ම, තුන්වන රැල්ල මතුවීමට හේතු සොයා ගිය හොත්, එම ගැටුම් නිර්මාණය වීමට බලපාන කොන්දේසි පවතී. ජනාධිපතිතුමා දැනුවත්ව හෝ නොදැනුවත්ව, නිලධාරි පැලැන්තියේ සරණ සොයා යෑමට තල්ලූ වනු ඇත. නිලධාරී පැලැන්තියේ අධිපතිවරයා නොහොත් රාජ්‍ය සේවාවේ ප්‍රධානියා, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දරය. පක්ෂයේ බලය අහිමි වන විට ජනාධිපති ලේකම් බලය සවිමත් වනු ඇත. එය දැනටමත් සිදුවී හමාරය. පී.බී. ජයසුන්දර යනු ලලිත් වීරතුංග හෝ කුසුම්සිරි බාලපටබැඳි කෙනෙකු නොවේ. ඒ දෙදෙනාම පහළ සිට ඉහළට පැමිණි අය විය. ජනතා නාඩි හසුවන, මෘදු, නම්‍යශීලී, සිනාමුසු මුහුණින් යුත් ජනාධිපති ලේකම්වරුය. එවැනි ස්වාභාවික හෝ සංස්කෘතික ලක්ෂණ, පී.බී. ජයසුන්දර සතුව නැත. ඔහු නිලධාරි පැලැන්තියේ අමු අරටුවකි.

මන්ත්‍රීවරුන් හෝ අමාත්‍යවරුන් පාලනය කරන තවත් ලොක්කන් ජනාධිපතිගෙන් බාහිරව නොසිටිය යුතුය.

පළපුරුදු ජනතා නාඩි හසුවන, ජනතාවාදී නායකයෙකු වශයෙන් මහින්ද රාජපක්ෂ මහතා සිටින බැවින්, මතුවන්නාවූ අර්බුද සමනය කළ හැකිය. එහෙත්, ඔහුටද සීමා ඇත.
අද සාගර කාරියවසම්ට ලබාදී ඇති බලය ජනාධිපති සහ අගමැති අභිබවා ගොස් ඇත. මෙය ගැඹුරින් විමර්ශනය කළ යුතු ප්‍රශ්නයකි.


වම් ඉවුරේ වෙබ් නාදය