Sunday, 28 April 2024

ජිනදාස කංකානම්ගේ


ගෙවී ගිය සති දෙක තුන ඇතුළත අපේ රටට රාජ්‍ය තාන්ත්‍රිකයින් දෙදෙනෙකු පැමිණියහ. ඔවුහූ රටේ නායක කාරකාදීන් හමුවී නික්ම ගියහ. ආසන්න වශයෙන් ගිය සතියේ අපේ රටට පැමිණියේ ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝය. පොම්පියෝගේ ශ්‍රී ලංකා සංචාරයට පෙර චීනයෙන් පැමිණි ඉහළ පෙළේ රාජතාන්ත්‍රිත දූත පිරිසේ ශ්‍රී ලංකා සංචාරයද සංසන්දනාත්මකව කියවා ගත යුතු සංචාර දෙකකි.


පොම්පියෝ එන්නේ චීන රාජ්‍ය තාන්ත්‍රි දූත පිරිස පැමිණ ගිය පසුවය. ප්‍රථමයෙන් ඇමෙරිකානු ධවල මන්දිරය පැත්තෙන් ලංකාවට රතු එළියක් දැල්වීය. ඒ ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධන ක්‍රියා මාර්ගයේදී තෝරා ගත යුත්තේ කවුරුන්ද යන්න ශ්‍රී ලංකා රජය විසින් සෘජු ලෙස තෝරා බේරා ගත යුතු බවයි. එතැනින් නොනැවති ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව දකුණු ආසියානු කටයුතු භාර නියෝජ්‍ය ලේකම්වරයා පොම්පියෝගේ ශ්‍රී ලංකා රාජ්‍ය සංචාරයේදී සිදු කිරීමට නියමිතව ඇති සාකච්ඡාවේ න්‍යාය පත්‍රයද එළි දක්වා තිබුණි. එහි අංක එකට සඳහන්ව ඇත්තේ ශ්‍රි ලංකාවේ මානව අයිතිවාසිකම්ය. දෙක ශ්‍රී ලංකාවේ ප්‍රතිසංධාන ක්‍රියාවලියයි. තුන්වනුව ශ්‍රී ලංකාවේ ප්‍රජාතාන්ත‍්‍රවාදයයි. හතරවනුව, විනිවිද භාවයෙන් යුත් තිරසාර ආර්ථික සංවර්ධනය උදෙසා විකල්පයන්ය. අවසන් වශයෙන් ශ්‍රි ලංකාවේ දීර්ඝ කාලීන ආර්ථික ස්වාධීනත්වය උදෙසා දුෂ්කර එහෙත් අත්‍යවශ්‍ය තීරණ ගැනීමට ඉල්ලා සිටීම වේ.


මේ සියල්ල අප විසින් අප රට තුළ තීරණය කළ යුතු කරුණුය. ලෝක පොලිස්කාරයාගේ නියෝජිතයා ලවා පරික්ෂණයට භාජනය කළ යුතු කරුණු නොවේ. ඇමෙරිකානු ජනතාව ජනාධිපතිවරණයක් අභිමුවේ සිටිති. කළු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඞ් ඝාතනය හමුවේ එරට මානව හිමිකම් සුරැකීම පිළිබඳ ලබා ඇති ඉහළ ගුණාත්මකබව ලොවටම ප්‍රදර්ශනය කර ඇති අතර, දිනෙන් දින උග්‍ර වන වර්ගවාදී ගැටුම් විශාල රැල්ලක් ලෙස ගොඩ නැගෙමින් ඇත. කොරෝනා වසංගතය උග්‍ර ලෙස පැතිරෙන, එය පාලනය කර ගත නොහැකි තැනකට පත්ව ඇති ඇමෙරිකාවේ ආර්ථික අර්බුදය හේතු කොටගෙන දිනපතා ලක්ෂ ගණනින් ශ්‍රමිකයෝ රැකියා අහිමිව විරැකියා පෝලිමට එක්වෙති. තම රටේ අනේක විද අර්බුද සමඟම ලෝක පොලිස්කාරයා ලෙස ලොව අන් සියලූ තැන්හිම සාමය සංහිඳියාව හා ප්‍රජාතන්ත‍්‍රවාදයට එරෙහි වන ඇමෙරිකාව මැද පෙරදිග කලාපය තුළ කරනු ලබන බලහත්කාරකම් පමණක් උදාහරණ ලෙස ගත්තද සත්‍ය කුමක්දැයි කිසිවෙකුට තෝරා ගැනීමේ අපහසුවක් නැත.


ලෝක පොලිස්කාරයාගේ සංචාරයට පෙර ඔහුගේ ආරක්ෂාවට යයි කියමින් ඇමෙරිකානු ගුවන් හමුදා යානයක් කටුනායක ගුවන් තොටට ගොඩ බැස්සේය. රටේ නිරෝධායන නීති මොන අයුරින් මේ සඳහා අදාල වන්නේදැයි අපි නොදනිමු. එසේම පොම්පියෝ පැමිණියේ ලෝකයේ දරුණු ලෙසම කොරොනා රෝගය පැතිර යන රටේ සිට ඊළඟට කොරෝනාව බලවත්ව ඇති ඉන්දියාවට ද ගොස් ඉන් අනතුරුවය. ට්‍රම්ප්ටත් කොරෝනාව වැළදුණු රටේ පොම්පියෝ අතපය සෝදාගෙන මෙහි පැමිණියේදැයි අපි නොදන්න නිසා නොලියමු. පොම්පියෝ සමඟ අවිගත් සෙබලූන්ද සමඟ මහ සෙනඟක් පැමිණියාට අපේ අකැමැත්තක් නැත. එහෙත් රාජ්‍ය තාන්ත්‍රි බවේ සළුවෙන් වැසී ලෝක වසංගතයක් ඇති සමයක මෙසේ කටයුතු කිරීම ප්‍රශ්නයක් බව සාමාන්‍ය මිනිසාට දැනී ඇත.


තම න්‍යාය පත‍්‍රයට අනුව ශ්‍රි ලංකාවේ ආර්ථික සංවර්ධනයේලා ඇමෙරිකාවේ හවුල්කාරීත්වය පිළිබඳව අදහස් හුවමාරු වූ බව මාධ්‍ය වාර්තා කළේය. මේ සංචාරයට ප්‍රථම පැමිණි චීන දූත පිරිස අප රටට පැමිණෙන්නේ ඇමරිකන් පොලිස්කාරයා මෙන් නොවේ. අපේ රටේ අභ්‍යන්තර ප්‍රශ්න ඔවුන්ට සාකච්ඡාවට මාතෘකා නොවේ. ඔවුන් පැමිණෙන්නේ කොරෝනා වසංගතය සාර්ථකව පාලනය කළ රටක සිටය. එය විශේෂයකි. එසේම ඔවුන් එන්නට පෙරාතුව චීන හමුදාවක් කටුනායකට ගොඩ බැස්සුවේද නැත. ඇමෙරිකාවෙන් ආ පොම්පියෝ සාපේක්ෂව චීනයෙන් ආ දූත පිරිසේ නායකයා ඉතාම ඉහළ පෙලේ රාජ්‍ය තාන්ත්‍රකයෙකි. ඔහුගේ නායකත්වයෙන් පැමිණියේ හය දෙනෙකුගෙන් සමන්විත ඉතා කුඩා දූත පිරිසක් මෙහි පැමිණි අතර ඔවුන්ගේ සාක්ච්ඡාවෙන් පසු නිවේදනය වූයේ කොවිඞ් 19 වසංගතයෙන් පසු ඇති වී ඇති ආර්ථික අවපාතයෙන් මිදීමට අවශ්‍ය ආධාරයන්ද සැපයූ බවයි. ඔවුන්ගේ ආධාර අතර යුවාන් මිලියන 600 ( ශ්‍රි ලංකාවේ රුපියල්වලින් රුපියල් බිලියන 16.5ක්) ප්‍රදානයක් (තෑග්ගක් වශයෙන්) ලබා දුන් අතර එමගින් වෛද්‍ය සේවා අධ්‍යාපනය, ජල සම්පාදන කටයුතු සඳහා එම මුදල් යොදා ගැනීමටත්, සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට ආධාර කිරීමටත් ශ්‍රී ලංකාව හා චීනය අතර ජල තාක්ෂණය වැඩි දියුණු කර ගැනීමටත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේ තාක්ෂණ හා ඉංජිනේරු විශ්වවිද්‍යාලයක් ඇති කිරීමටත් වු වැදගත් තීන්දු රැසක් ගෙන තිබේ. එසේම ජාත්‍යන්තරය තුළ ශ්‍රී ලංකාව වෙනුවෙන් මිත්‍රශීලි රටක් ලෙස පෙනී සිටින බවද, චීන දූත පිරිස ශ්‍රී ලංකා රජයට දන්වා සිටියේය. බටහිර බලවතුන් අපි දඩු කදේ ගැසීමට සැරසී සිටින සමයක එය ඔවුන්ට පිළිතුරක්ද වනු ඇත. තුන්වන රටවල් පිළිබඳව ඔවුන් අතර සාකච්ඡා නැත. සාකච්ඡාව පැවතියේ ලංකාව හා චීනය අතර පමණි.


ඇමෙරිකාවට චීනයෙන් මෙම ආධාර දීම ඉවසා සිටිය නොහැකි තැනට පත්වීම පොම්පියෝගේ ශ්‍රී ලංකා ආගමනයේ යථාර්ථයයි. නැගී එන ආසියානු ආර්ථිකය හා චීන ආර්ථිකයේ වේගවත් සංවර්ධනය හමුවේ වෙනස්වන්නාවු ලෝක ආර්ථික රටාව සහ ආර්ථික බලතුලනය හමුවේ වියරුවී සිටින ඇමෙරිකන් අධිරාජ්‍යවාදීන් නව ඉන්දු පැසිපික් උපාය මාර්ගයක් සැලසුම්කරන අතර මෙතෙක් දකුණු ආසියානු කලාපයෙන් ඊට ඇද ගැනීමට හැකියාව ඇත්තේ ඉන්දියාව පමණි. මේ තර්ජනාංගුලිය ශ්‍රී ලංකාවට එල්ල කරන්නේ නිකමට නොවේ. චීනය සමග ශ්‍රී ලංකාව ඇතිකර ගෙන ඇති සබඳතා නතර කිරීම අරමුණු කොටගෙනය. ජනතාවාදී ලෙස වෙනස්වන ආසියානු ආර්ථිකයේ කේන්ද්‍රය චීනයයි. චීන දූත පිරිස අපේ රටට පැමිණ සාකච්ඡා කරන පසුබිම තුළ එක් පැත්තකින් ලෝකයේ විශාලතම ආර්ථිකය චීනය බවට ප්‍රකාශ වී ඇත. එය ප්‍රකාශ කළේ අන්තර් ජාතික මූල්‍ය අරමුදල විසිනි. එසේම ඔවුන්ගේ රට තුළ දුප්පත්කම තුරන් කරලීමේ ඉලක්ක කරා ළගා වන මොහොතකය. ඔවුන්ගේ ශතවර්ෂ ඉලක්කයට (චීන කොමියුනිස්ට් පක්ෂය පිහිටුවා වසර 100ක් පිරීම) අනුව 2021 වන විට චීනයෙන් දුප්පත්කම තුරන් කරන ඉලක්ක සම්පූර්ණ වනු ඇත. ඔවුන්ගේ ශතවර්ෂ ඉලක්කය කරා යන ගමනේදී 2012 වසරේ එරට ජනගහණයෙන් මිලියන 93.8ක් දරිද්‍රතාවයෙන් පෙලූණි. එය 2019 වසර වන විට මිලියන 5.5ට අඩු වූ අතර එය රටේ සමස්ථ ජනගහණයෙන් දශම 0.6%කි. 2021 වන විට ඔවුන්ගේ ශතවර්ෂ ඉලක්කය ජයගෙන එම දශම 0.6%ද දුප්පත්කමින් මිදෙනු ඇත. අප රටටත් ජනතාවටත් සිතන්නට බොහෝදේ ඇත. අපි යා යුත්තේ අඳුරට නොව ආලෝකය සොයාගෙනය.

 

වම් ඉවුරේ වෙබ් නාදය