මාර්තු මුල් සතියේ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිතැයි ආරංචි පළ වීමත් සමඟ රාජ්‍ය ආයතන ගණනාවක නියමිත සුදුසුකම් සපුරා නැති සේවක පිරිසකට හදිසි පත්වීම් රැසක් සිදුකෙරෙමින් ඇතැයි වාර්තා වේ.
මේ සම්බන්ධ අලුත්ම සිදුවීම වාර්තා වන්නේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙනි. පසුගිය 27 වැනි දා පැවැත්වූ අධ්යක්ෂ මණ්ඩල රැස්වීමට යෝජනා වූ තනතුරු කිහිපයකට නුසුදුසු පුද්ගලයන් පිරිසක් ස්ථිර කරගැනීම සඳහා තවත් හදිසි අධ්‍යක්ෂක මණ්ඩල රැස්වීමක් පාර්ලිමේන්තුව විසුරවා හැරීමට කලින් මාර්තු 2 වැනි සදුදා උදෑසන 7.30ට කැඳවා ඇතැයි වාර්තා වේ.
මෙහිදී ස්ථිර කරගැනීමට යෝජිත තනතුරු අතර සුදුසුකම් සපුරා නැති වත්මන් ආණ්ඩුවට සම්බන්ධ කිහිප දෙනෙකුම වෙතැයි ගුවන් විදුලි සංස්ථාවේ වෘත්තීය සමිති චෝදනා කරති. ඒ තනතුරු අතර නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් ධුරයක් සහ සහකාර අධ්යක්ෂ තනතුරක් ද ඇති බව වැඩි දුරටත් වාර්තා වේ. මේ තනතුරු සඳහා හදිසියේ පත් කිරීමට සූදානම් වන එක් පුද්ගලයෙක් මීට පෙර අවස්ථාවක සංස්ථාවට ව්‍යාජ සහතික ඉදිරිපත් කිරීම නිසා වැඩ තහනම් වූ පුද්ගලයෙකි. උපාධියක් අවම සුදුසුකම වන සහකාර අධ්යක්ෂ තනතුර සඳහා පත් වීමට සූදානම් වන්නේ අපොස සාමාන්‍ය පෙළ පවා අසමත් වූවෙක් බව වැඩි දුරටත් වාර්තා වේ.
මීට පෙර ස්වාධීන රූපවාහිනී සේවයට ද මෙවන් පත්වීම් රැසක් සිදු කර තිබුණේ වැඩ බලන යන කොන්දේසියට යටත්ව ය. එම පත්වීම් ද මැතිවරණයට කලින් ස්ථිර කිරීම සඳහා කටයුතු කෙරෙමින් ඇතැයි ස්වාධීන රූපවාහිනී සේවයේ අභ්‍යන්තර ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වේ.