Wednesday, 01 May 2024

මේ තියෙන්නේ 1977 සිට මේ දක්වා වසර 43ක් තිස්සේ ගෙන ආ ආර්ථික මූලෝපායේ අර්බුදයක්

මහාචාර්ය සුමනසිරි ලියනගේ


 

මේ වත්මන් අර්බුදය ප්‍රධාන වශයෙන් තල දෙකක දකින්න පුළුවන්. ඉන් පළමුවැන්න අද මතුපිට අපට පේන්න තියෙන අර්බුදය ආකාරය සහ ස්වභාවය සාකච්ඡා කිරීම. විදේශ විනිමය අර්බුදයක්, අයවැය අර්බුදයක් ලෙස එම තලය හඳුන්වන්න පුළුවන්. නමුත් මම කැමතියි ඊළඟ තලය වෙත මගේ අවධානය යොමු කරන්න. මේ අර්බුදය පහුගිය වසර හතර පහේ ඇති වුණු හදිසි අර්බුදයක් ලෙස මම දකින්නේ නැහැ. මේ අර්බුදය 1977 සිට මේ දක්වා වසර 43ක් තිස්සේ ගෙන ආ ආර්ථික මූලෝපායේ අර්බුදයක් ලෙසයි අපට තේරුම් ගන්න සිද්ධ වෙන්නේ. ඒ නිසා විසඳුම් සොයන අවස්ථාවේ ඉතාම පැහැදිලි ලෙස මේ දීර්ඝකාලීන මූලෝපායී සැලසුම සැලකීමෙන් තොරව මේ අර්බුදයට විසඳුම් සෙවීමට හැකියාවක් නැහැ. 

මේ පිළිබඳ කතා කරන විට 1977 ත් අදත් සන්සන්දනය කරල හුඟක් අය කියනවා අද හුඟක් දියුණු වෙලා කියලා. ඒක ඉලක්කම්වලින් යම් ප්‍රමාණයකට පේනවා. ඒකජනක ආදායම ඩොලර් 4000ක සීමාවකට ඇවිත් තියෙනවා. ඒ නිසා සමහර අය පෙන්නනවා මේ රට දියුණු වුණා කියලා. නමුත් ඒකෙන් ආර්ථික මූලෝපාය ගැන කියන්න බැහැ. උදාහරණයක් ලෙස මේ අවුරුදු 43 තුළ කඩින් කඩ වර්ෂ කීපයක ඉතාම වේගවත් ආර්ථික වෘද්ධියක් පෙන්නුම් කරනවා. 1978 – 79 – 80 කාලවල 7% - 8% අතර මට්ටමක ආර්ථික වෘද්ධියක් තිබුණා. ඒ වගේම ආර්ථික වෘද්ධි මට්ටමක් දකින්න ලැබුණා ප්‍රේමදාස මහතා බලයට පත්වී ටික කලකින් ආර්ථික වෘද්ධිය 6%ක පමණ ප්‍රමාණයකට වැඩි වුණා. ඒ වගේම මහින්ද රාජපක්ෂ මහතාගේ පාලනය යටතේ 2009 න් පස්සේ 6% - 7% අතර වෘද්ධියක් තිබුණා. මේක එක පැහැදිලි ලක්ෂණයක් මේ මූලෝපාය අසාර්ථක බව පෙන්වන්න. මං ගණන් හදලා බැලුවා පිට පිට වසර පහක් මෙවැනි වර්ධන වේගයක් පවත්වාගෙන යන්න මේ ආණ්ඩු කිසිවක් සමත් වෙලා නැහැ.

ධනේශ්නර ක්‍රමය යටතේ දියුණු වුණාද කියලා බලන තවත් ක්‍රමයක් තමයි, මේ ආර්ථිකයේ ප්‍රාග්ධන සම්පාදනය විශාල වෙන්නට ඕනේ. මේ කාරණය සාකච්ඡා කිරීමට අපි යොදාගන්නවා organic composition of capital කියන සංකල්පය. ප්‍රාග්ධනය සහ ශ්‍රමය අතර බෙදීම කොහොමද කියලා බලන ක්‍රමය මේ. එයට අනුව ධනේශ්වරය යටතේ දියුණු වුණු හැම රටකම මේ සංයුතිය එන්න එන්නම වැඩි වෙනවා. නමුත් ලංකාවේ මේ සංයුතිය හැත්තෑ ගණන්වලට වඩා අද අඩු මට්ටමක් වෙලා තියෙනවා. ඒක තේරුම් ගන්න පුළුවන්. මොකද අපේ තිබුණු බැර කර්මාන්ත සියල්ල අද නැහැ. අද තියෙන්නේ ඇගළුම් කර්මාන්තයේ තියෙන ප්‍රාග්ධන සම්පාදනය විතරයි. එයිනුත් අපට පේනවා අවුරුදු 43ක කාලය තුළ මේ මූලෝපාය ප්‍රශ්නයක් තිබෙන බව.

1977 ආරම්භ වූ මේ මූලෝපාය හැඳින්වූයේ නිර්යාත අභිමුඛ සංවර්ධන මූලෝපාය හැටියට. 77 මේ අනුගමනය කළ ක්‍රියාමාර්ගය මගින් පෙන්නුම් කළේ අපි නිර්යාත, නැතිනම් අපනයන අංශය දියුණු කරනවා. ඒ දියුණු කරන නිර්යාත පදනම් කරගෙන නිෂ්පාදනය ඉහළ මට්ටමකට ගෙන ඒමයි අදහස වුණේ. නමුත් සිද්ධ වෙලා තියෙන්නේ 1975 තමයි  අවසාන වතාවට ලංකාවේ වෙළඳ ශේෂයේ අතිරික්තයක් තියෙන්නේ. ඇත්තටම නිර්යාත අභිමුඛ මූලෝපාය හඳුන්වා දෙන්න ඉස්සෙල්ලා තමයි යම්කිසි විදිහකට වෙළඳ ශේෂයේ අතිරික්තයක් දකින්න ලැබුණේ. 1977න් පස්සේ එනම් නිර්යාතාභිමුඛ සංවර්ධන මූලෝපාය හඳුන්වා දුන් දවසේ ඉදලා මේ වසර 43ක කාලයේ අද දක්වාම වෙළඳ ශේෂය ඍණ අගයක් වුණා.

1977 ආරම්භ කළ මෙම මූලෝපාය අසූව දශකයේ මැද වනතුරු රටට කරදරයක් නැතිව විදේශාධාර ගලා ආවා. මක්නිසාද මේ මූලෝපාය ඉදිරියට ගෙනයාම වෙනුවෙන් සැලකිය යුතු ප්‍රමාණයකට විදේශාධාර ලැබුණු නිසා. ඒ ආධාර නැති වෙන කොට අපි හැරුණේ ණය ආර්ථිකයකට. 21 වන ශතවර්ෂයේදී එය ඉහළම අගයකට යනවා.

මේ ඇතිවෙලා තියෙන විදේශ විනිමය අර්බුදය, අයවැය අර්බුදය, බඩු මිල ඉහළ යාම වගේ සියලු අර්බුද ඇතිවෙලා තියෙන්නේ මේ වසර 43 ඇතුළත සම්පූර්ණයෙන්ම අසාර්ථක වූ සංවර්ධන මූලෝපාය රට අනුගමනය කළ නිසයි.

දීර්ඝ කාලීන ක්‍රියාවලියක් නිසා ඇති වුණු අර්බුද රාශියකටයි අපි මුහුණ දෙමින් ඉන්නේ. මෙවර අයවැය එම දීර්ඝ කාලීන අර්බුදවලට පිළියම් හොයන දැක්මක සළකුණක්වත් නැති අයවැය ලේඛනයක්. මේ අයවැය ලේඛනය සකස් කළ අය කිසිවෙක් කල්පනා කරල නැහැ මේ අවුරුදු 43ක අනුගමනය කළ සංවර්ධන මූලෝපායේ ප්‍රධාන වැරැද්දක් හේතු කොට ගෙනයි මේ ආර්ථික අර්බුදය ඇතිවී තියෙන්නේ කියන කාරණය. ඒ අනුව ඒ අය ගනු ලබන පියවර පිළිබඳ එක් මන්ත්‍රීවරයෙක් සඳහන් කළා “අපි මෙතෙක් කල් අයවැය සකස් කිරීමේදී සැලකිල්ලට ගනු ලැබූවේ රාජ්‍ය සේවකයන් සහ පුද්ගලික අංශයේ සෙවකයන්. ඒ අය ස්ථීර පඩියක් ලබන්නන්. නමුත් මේ අයවැය ලේඛනය මගින් අවධානය යොමු කරලා තියෙන්නේ ඔවුනට නොව අවිධිමත් ආර්ථිකයට අයත්වන්නන් වෙනුවෙන්” බව. මේක ඔවුන් තර්කයක් විදිහට ඉදිරිපත් කළා. ඒ වෙනුවෙන් අයවැයේ අවසන් හරියේ අතිවිශාල ඉලක්කම් සමූහයක් ඉදිරිපත් කරනවා. විශාල පිරිසක් වෙනුවෙන් මුදල් වෙන් කරලා තියෙනවා. මේකේ දේශපාලන ආර්ථික විද්‍යාව බැලුවොත් මම හිතන්නේ මේක තමයි බැසිල් රාජපක්ෂ මහතාගේ ඡන්ද මැෂිම සක්‍රීය කිරීම සඳහා ගනු ලැබූ උත්සාහය. එනම් මේ අවිධිමත් ආර්ථික ක්ෂේත්‍රය ඉලක්ක කරමින් ඉදිරිපත් කරන යෝජනා මාලාව සහ ඒවා දෙනු ලබන යාන්ත්‍රණය ඉතා පැහැදිලි ලෙස පෙනෙන කරුණක්.  බැසිල් රාජපක්ෂ මහතාගේ ඡන්ද මැෂිම ක්‍රියාත්මක වෙන්නේ මන්ත්‍රීවරු හරහා නෙවෙයි, ප්‍රාදේශීය සභා සහ පළාත් මට්ටමේ දේශපාලකයින් පදනම් කරගෙන බව අපි දන්නවා. 

මේ තියන ආර්ථික අර්බුදය වළක්වා ගැනීම සඳහා ඉදිරිපත් වූ යෝජනා ගැන සලකනවා නම් පුංචි යෝජනා දෙකක් මෙහි තියෙනවා. ලංකාවේ ආයෝජන ගලා යන අංශ කිහිපයක් තියෙනවා. ඒ මූල්‍ය, රක්ෂණ, ඉඩම්, අධ්‍යාපනය සහ සෞඛ්‍ය කියන අංශ. අපිට ධනේශ්වර මට්ටමේ වර්ධනයක් කරා යාමට උවමනාවක් තියෙනවා නම් ඉහතින් සඳහන් කළ අංශවල සිට ලාභය කෘතීම ලෙස නිෂ්පාදන සහ කර්මාන්ත දක්වා වැඩි කළ යුතුයි. මේ අයවැය ලේඛනයේ එක් වාක්‍යයක් තියෙනවා ‘ලංකාවේ ආර්ථිකය වෙළඳ ආර්ථිකයක් එය නිෂ්පාදන ආර්ථිකයක් දක්වා යා යුතු’ බව. ඒක සත්‍යයක්. ලංකාවේ ධනේශ්වර පන්තිය ඉහත සඳහන් කළ ක්ෂේත්‍රවල නිරත පන්තියක් මිස කාර්මික ධනපති පන්තියක් නොවන වග සහ ඒ නිසා නිෂ්පාදන ආර්ථිකයක් දක්වා කර්මාන්ත දෙසට ප්‍රාග්ධනය ගලා යන ලෙස සකස් කළ යුතුය කියන අදහසක් ලංකාවේ වාමාංශය හැම විටම ඉදිරිපත් කරන අදහසක්. මේකට පුංචි ඉගියක් මේ අයවැයේ තියෙනවා. ඒ තමයි බැංකු සහ රක්ෂණ වගේ අංශවලට වැඩිපුර බද්දක් අය කිරීම. බැසිල් රාජපක්ෂ මහතා මේ කාරණය සම්බන්ධව මේ ලෙඩේට දෙන්න තියෙන බෙහෙත දැනගෙන තියෙනවා. නමුත් දීලා තියෙන්නේ නියමිත මාත්‍රාව නෙවෙයි. ඒ නිසා වෙළඳ ආර්ථිකයෙන් නිෂ්පාදන ආර්ථිකයක් දක්වා යන්න මේ බද්දෙන් හැකියාවක් ලැබෙන්නේ නැහැ. 

මේ ආණ්ඩුව බලයට පැමිණි විගසම වාගේ බදු ප්‍රතිපත්තියේ වෙනසක් සිදු කළා ඉතාම වැරදි විදිහට. ලංකාවේ ආණ්ඩුවේ ආදායම අඩුවෙන්න විතරක් නෙවෙයි, ලංකාවේ බදු ප්‍රතිපත්තියේම විශාල අවුලක් ඇති කරන විදිහට. උදාහරණ කිව්වොත්, ලංකාවේ උපයන විට ගෙවන බද්ද තිබුණේ රුපියල් ලක්ෂයක වැටුපක් ලබා ගන්න කෙනෙකුට අදාළ වන විදිහට. මෙය 250,000ක් දක්වා වැඩි කළා. මේක කිසිසේත්ම යථාර්ථවාදී නැහැ. ඒ වගේම වක්‍ර බදු අනුපාතය තවත් වැඩි කළා. මේ විදිහට රාජ්‍යයේ බදු ආදායම අඩුවන ආකාරයට තමයි මේ ආණ්ඩු කටයුතු කරමින් ඉන්නේ. මේ සියල්ල අයිඑම්එෆ් එකට ගියත් නැතත් එහි ප්‍රතිපත්ති විදිහට. 

ආණ්ඩුවේ ආදායම් වැඩි කරලා වියදම් අඩු කිරීමට අදාළ කිසිම පියවරක් මේ අයවැයෙන් අරගෙන නැහැ. ඒ වගේම අපේ වෙළඳ ශේෂය පියවා ගැනීමට කිසිදු නිශ්චිත පියවරක් අයවැයෙන් සහ ආණ්ඩුවේ ප්‍රතිපත්තවලින් ගත් බවක් හෝ ගන්න බවක් පෙන්නේ නැහැ.

මේකට විසඳුමක් හොයන්න අවශ්‍ය නම් වසර 43ක් හොඳටම ඇති යම් ආර්ථික මූලෝපායක් සාර්ථක ද නැද්ද කියලා කියන්න. ඒ නිසා ව්‍යුහාත්මක වශයෙන් මේ ආර්ථික අර්බුදය විසඳන්න නම් 1977 සිට අනුගමනය කළ ආර්ථික ප්‍රතිපත්තියට තිත තියලා නව ආර්ථික ප්‍රතිපත්තියක් ගැන කල්පනාවට ගතයුතු වෙනවා.

ආසියා ප්‍රගති සංසදය විසින් සංවිධානය කළ 'පශ්චාත් අයවැය සමාලෝචනය" සම්මන්ත්‍රණයේදී මහාචාර්ය සුමනසිරි ලියනගේ මහතා දැක්වූ අදහස් ඇසුරිනි.
සංවාද සටහන - සමන් ජයකොඩි

වම් ඉවුරේ වෙබ් නාදය